රුහුණු කතරගම දේවාලවලට දේශපාලන බලපෑම් එපා

රුහුණු කතරගම දේවාලවලට දේශපාලන බලපෑම් එපා

- ජනපති නියෝග කරයි

දේශපාලන බලපෑම්වලට යටත් කොට තිබූ රුහුණු මහා කතරගම දේවාලයට අදාළ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතෙහි බලරහිත කර තිබූ වගන්ති 02ක් වහාම බලාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විෂය භාර ඇමැතිවරයා වෙත නියෝග කිරීමට පියවර ගෙන තිබේ.

‍එසේ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ රුහුණු මහා කතරගම දේවාලයට අදාළව බලරහිත කර තිබූ වගන්ති වූයේ 14 වගන්තියේ ඈ ඈ ඡේදයේ විධිවිධාන සහ අංක 1801/39 හා ආඥා පනතේ 12 වෙනි වගන්තිය සහ අතුරු විදානයේ (ආ) ඡේදයේ අතුරු විධානයේ දැක්වෙන විධි විධානයන් ය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 03 වෙනි වගන්තියේ විෂය භාර ඇමැතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බුද්ධශාසන ඇමැති කරු ජයසූරිය මහතා විසින් පසුගිය මාර්තු මස 10 වෙනි දින නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් මෙම අවලංගු කිරීම 2015 මාර්තු 17 වෙනි දිනට ක්‍රියාත්මක වන පරිදි සිදුකොට තිබේ.

මෙහි පළමු වගන්තියෙන් පසුගිය රජය මඟින් බලරහිත කොට තිබුණේ බස්නායක නිලමේවරයකු වශයෙන් පත්වීමට නුසුදුසුකම් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු, පළාත් පාලන ආයතන සභිකයකු වීම යන කොන්දේසි තුනය. දෙවන වගන්තියට අදාළව නිලමේවරයකුගේ ධුර කාලය වසර 5න් පසුව තවත් වසර 2ක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබූ බලතල ප්‍රකාරව රුහුණු මහා කතරගම දේවාලයට අදාළව එම සීමාව අදාළ නොවන පරිදි බලරහිත කොට ගැසට් පත්‍රය මඟින් නිවේදනය කොට තිබිණි.

රුහුණු මහා කතරගම දේවාලය දේශපාලන බලපෑම්වලින් තොර ස්ථානයක් කිරීමේ අභිප්‍රායෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම පියවර ගෙන තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා