කොල්ල කෑ මුදල් හැකි ඉක්මනින් ජනතාවට ලබා දෙමු

කොල්ල කෑ මුදල් හැකි ඉක්මනින් ජනතාවට ලබා දෙමු

- එජාප සාමාජික ප්‍රවර්ධන වැඩ අරඹමින් අගමැති කියයි

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සිත් පුරා නිදහසේ සාමකාමීව ගත කිරීමටත් සාමය රජයන නිවහල් වාතාවරණයක් උදා කිරීමටත් ක්‍රියාකරන බව දැඩිසේ ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළ කළේය.

හොරකමින් දූෂණයෙන් මුදල් හම්බකළ අයට දඬුවම් දීම පමාවන්නේ ඇයිදැයි සමහරු අහන බව කී අග්‍රාමාත්‍යවරයා දඬුවම් දෙනවාට වඩා ප්‍රධාන වන්නේ අයුක්තියෙන් අසාධාරණයෙන් කොල්ල කෑ මෙම මුදල් හැකිඉක්මණින් ජනතාව සතු කිරීම බව කීය. එයින් අදහස් කරන්නේ මහජන දේපළ කොල්ලකරුවන්ට දඬුවම් නොදීමක් හෙම නොවන බවද කීය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන කටයුතු උතුරු කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ සංවිධායකත්වයෙන් තොටළඟ පාලම අසලදී පැවති රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සියලුම පක්ෂවල නියෝජිතයින්ගෙන් යුත් ආණ්ඩුවක් අපි පිහිටුවනවා. ඊට අකමැති පිරිසක් වේ නම් ඔවුන් අමතක කොට අප සමඟ අත්වැල් බැඳගැනීමට කැමති අය සමඟ අපි අපේ ගමන යනවා යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එහිනායකත්වය එක්සත් ජාතික පක්ෂයට හිමිවීම නතර කිරීමට ජනතාව ඉඩ නොතබනු ඇති බවද කීය.

අගමැතිවරයා මෙසේ ද කීය.

ජනවාරි 09 දා යහපාලනය අරඹනවාත් සමඟ මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලනය අහෝසි කිරීමට අප සමත් වුනේ එම ජනතා වරමින්. ඒ ජනවරම අප කොයි ලෙසකින්වත් වැරදියට පාවිච්චි කරන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් ආදී හැම ජනකොටසක්ම එක්සත් කරමින් අප ඇති කරන ජාතික ආණ්ඩුව පෙරටම යනවා.

ඔබ අපව විශ්වාස කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූවා. මම අගමැති උනෙත් එම විශ්වාසය මතයි. නිදහස සුරැකෙන නීතිය සමබරව ක්‍රියාත්මක කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවන මෙම ආණ්ඩුවට එන්න කැමැති අයට දොර විවෘත වී තිබෙනවා. අපි ඇති කරන්නේ අලුත් ලංකාවක්. අලුත් යුගයක්. රට හදන්න පෙර ජනතාව හදන්න ඕන. මහජන මුදල් සොරා කෑ අයට නෑ පරපුර ගැන පමණක් සිතා ඔවුන්ගේම යහපතට වැඩ කළ අයට යළි කලක් උදාවන්නේ නැහැ.

අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මම ගිය අවුරුද්දේ කියන විට සමහරු පිළිගත්තේ නැහැ. නමුත් එය ඉටුවුණා. අද මම කියනවා අපේ ජාතික ආණ්ඩුව ඉදිරියේදී පිහිටුවනවා. කාන්තා අභිවෘද්ධි කටයුතු සඳහා පමණක් අපි රුපියල් මිලියන 250ක් දැනටම වෙන්කර කටයුතු කරගෙන යනවා.

ගැබිණි මවුවරුන් ගැන විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රවී කරුණානායක ඇමැතිවරයා හරියට විජ්ජාකාරයෙක් වාගෙයි. ඔහුට රැයක් දවාලක් නැහැ. හැම වෙලාවෙම මහජන කටයුතු . ඔහු වටා විශාල පිරිසක් ඉන්නවා. දක්ෂ සංවිධායක වරයෙක්. දින ගණනක් තුළ අපි පාරිභෝගික ද්‍රව්‍ය ගණනාවක් අඩුකළා. ඉන් ලැබුණ සහනය ජනතාව දන්නවා. සංවර්ධන කටයුතු අඩු කළේ නැහැ.

එහෙත් සමහර වැඩ නැවතී ඇති බව ඇත්තයි. ඒ පසුගිය රජය ඒ අයගෙ හිතවතුන්ට ව්‍යාපාරිකයන්ට හිතූ හිතූ ගණන්වලට පිළිගත් ක්‍රමවලට විරුද්ධව කෝටිගණනින් භාරදුන් වැඩ. ඒ අයගෙ හිතවතුන් සනසන්න අපට බැහැ. අපි නිසි පිළිවෙළට සාධාරණ ක්‍රමවලට අනුකූලව භාරදෙන වැඩ හරියට කෙරෙනවා. පවතින ගැටලු විසඳාගෙන ඒ වැඩත් හනික හනික ඉටු කරනවා. මහින්දව දිනවන්න රුපියල් කෝටි ගණනක් මුදල් වැය කළ අයට ඕන විදියට දැන් කටයුතු කෙරෙන්නේ නැහැ.

ගියවර මට ආණ්ඩුව භාර දුන්නෙත් ආර්ථික බංකොළොත් තත්ත්වයෙන් මම එය යථා තත්ත්වයට පත්කරගෙන එනවිටයි අපේ රජය උදුරා ගත්තේ. ඉන්පසු අපි අවුරුදු 10ක් නිකම් බලා උන්නා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් එකම පෙරමුණක සිට තරඟ කළේ ඒ අනුවයි. එතුමා පැරදුනා නම් අඩි 7ක් පොළොව යට රැ‍ඳෙන්නයි වෙන්න තිබුනෙකියා එතුමා කීවා. එතුමාට එහෙම උනානම් ජනතාවට කුමක් වන්නට තිබුණේදැයි සිතාගත හැකියි.

මුදල් ඇමති රවී කරුණානායක මහතා

රටේ වෙනසක් ඇතිකිරීමට බලය ඉල්ලූ අපිට ඔබ බලය දුන්නා. පොරොන්දු වූ පරිදිත් අපි ජනතාවට සහන ලබා දුන්නා. මෙම සහන දීම මෙතෙකින් නවත්වන්නේ නැහැ. අපි එම සහන ලබා දෙන්නේ අලුත් ලංකාවක් බිහිකරමිනුයි. චක්‍රලේඛ මඟින් නොව ශීලාචාර ක්‍රම මඟින් අපි ජනතාවට කරුණු පහදනවා. අල තැම්බෙන තුරු ටිකක් ඉවසා සිටින්නැයි අපි ඉල්ලනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා