ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 273කට දැවී යයි

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 273කට දැවී යයි

සංචාරක පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමග ඊයේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ තෙවැනි හා අවසන් නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 273කට සීමාවිය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිලේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ.

උදාර ජයසුන්දර ලකුණු 6කට හා ධනංජය ද සිල්වා ලකුණු 13කට දැවී ගියහ. මාධව වර්ණපුර තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 13කට දැවී ගිය අතර නායක අෂාන් ප්‍රියංජනට ලබාගත හැකිවූයේ ලකුණු 7ක් පමණි. තරගය දිවා විවේකය සඳහා නතර කරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 89ක් රැස්කරගෙන සිටියේය. කිත්රුවන් විතානගේ ලකුණු 48කට දැවී ගිය අතර 7වැනි කඩුල්ලට එක්වූ කුසල් ජනිත් පෙරේරා හා නිසල තාරක ලකුණු 124ක් සබඳතාවක් පිහිටවමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූහ.

නිසල තාරක ලකුණු 76කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 90ක් වාර්තා කළේය. පන්දු යැවීමේදී නායක ෆවාඩ් අලාම් කඩුලු 4ක් හා ෂෙහාඩ් අසාම් කඩුලු 3ක් දවාගත්හ.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම-273 (ඕවර 74) කුසල් ජනිත් 90, නිසල තාරක 76, කිත්රුවන් විතානගේ 48 (ෆවාඩ් අලාම් 40/4, ෂෙහාඩ් අසාම් 54/3)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා