ක්‍රීඩාවේ ‍නිවැරදි කළ යුතු තැන් තව තිබෙනවා

ක්‍රීඩාවේ ‍නිවැරදි කළ යුතු තැන් තව තිබෙනවා

ක්‍රීඩාවේ නිවැරදි කළ යුතු තැන් කිහිපයක් තවදුරටත් ඇති බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ අදත් ක්‍රීඩාව යන්නේ යහපාලනයටදැයි කියා තමන් කලකිරීමෙන් සිටින බවයි.

“පසුගිය කාලේ අපේ ක්‍රීඩාව හුගක් දුරට විනාශ වුණා. ර‍ට වටේම ක්‍රීඩාංගණ හැදුවා. ඒවායේදී හොරකම් හුගක් වුණා. නමුත් ක්‍රීඩකයෝ හැදුවේ නැ. අද වුණත් මම ඇත්තටම කළ කිරෙනවා. අදත් ක්‍රීඩාව යන්නේ යහපාලනය පැත්තටදැයි කියලා” රණතුංග මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හොඳ වුවත් ඒකට නිවැරදි පුද්ගලයන් ඇතුළත් කළ යුතු බවයි. ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය ප්‍රශ්න තිබෙන බවට චෝදනා කරමින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම වරදක් නොවන බව පැවැසු රණතුංග මහතා හොරකම් වීමේදී භාණ්ඩාගාරික වගකිව යුතු බැවින් අතුරු පාලක කමිටුවට හිටපු භාණ්ඩාගාරික පත්කිරීමේ වරදක් ඇති බව පෙන්වා දෙයි.

“අතුරු පාලක කමිටුවක් පත්කිරීමෙන් ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. අපි පසුගිය කාලේ කෑ ගැසුවා ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා කියලා. ඒ වගේම දැන් අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් අපටත් ඇගිල්ලක් දික් වෙන්න පුළුවන් අ‍පේ ආණ්ඩුවත් ක්‍රිකට් දේශපාලනීකරණය කළා කියලා. ක්‍රිකට්වල මුදලාලි මාෆියාවක් තියෙනවා. මේ මාෆියාව ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද සල්ලිවලට ගන්න මාෆියාවක්. මේ නිසා ක්‍රිකට් ආයතනය සඳහා හොඳ කණ්ඩායමක් පත් කර ගන්න පුළුවන් වේදැයි ප්‍රශ්නයක් තියෙනවා” යැයි පැවැසු රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රීඩාවට තමන් තවමත් ආදරය කරන බව අවධාරණය කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා