ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් පිලට ජය පූජා කරති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් පිලට ජය පූජා කරති

සංචාරක කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව ඊයේ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි හා අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය පෙනි පෙනී පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා පිල ඕවර 47.3කදී ලකුණු 156කට සීමා කිරීමට පන්දු යවන්නියන් සමත්වූව ද දුර්වල පිතිහරඹය මත ශ්‍රී ලංකා ඉනිම ඕවර 45.2කදී ලකුණු 125කින් නතර විය. මේ අනුව තරග 4කින් සමන්විත එක්දින තරගාවලිය 3-1කින් ජය ගැනීමට කොදෙව් පිලට හැකිවිය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකාරිනියන්ගෙන් සමන්විත මුල්පෙළ වගකීම් රහිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම අවාසනාවන්ත කරුණකි. ආරම්භක පිතිකාරිනිය ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 10ක් රැස් කිරීමට පන්දු 45ක් වැය කළ අතර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 16කට දැවී ගියේ පන්දු 35කට මුහුණදීමෙන් පසුවය. දිලානී මනෝදරා වෙනුවට කණ්ඩායමට එක්වූ සඳුනී අබේවික්‍රමට ලකුණු 8ක් රැස් කිරීමට පන්දු 37ක් වැයවිය. උපනායිකා ඉෂානී කෞෂල්‍යා සාර්ථක පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ දැමුව ද නොතිබුණු ලකුණක් කරා දිව ගොස් නිකරුණේ කඩුල්ල පූජා කිරීමෙන් තරගයේ වාසිය කොදෙව් පිල දෙසට හැරිණි.

තරගයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ජීවන්ත කුලතුංග ප්‍රකාශ කළේ කෙතරම් නිවැරැදිව පුහුණුවීම් කටයුතු සිදු කළ ද පිටියේ දී ක්‍රීඩිකාවන් ඒ පුහුණුවීමේ ප්‍රතිඵල නෙලා ගැනීමට අසමත්වන බවකි.

‘අපිට මේ තරගය පමණක් නෙවෙයි මුලු තරගාවලියම ජය ගැනීමේ අවස්ථාවක් තිබුණා. ඒත් අපේ පිතිහරඹයේ දුර්වලතා තරගාවලියේ පරාජයට ලොකුම හේතුව වුණා. අපේ ක්‍රීඩිකාවන් හැකියාව අතින් ඉහළ තත්ත්වයක සිටියත් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ දමනතුරු තරග ජයග්‍රහණ අපට එතරම් පහසු වන්නේ නෑ. පුහුණුකරුවන් ලෙස අප කෙතරම් හොඳින් ඔවුන්ට පුහුණුව ලබාදුන්නත් ඔවුන් පිටියේ දී තීරණ ගැනීම අතින් ඉතා දුර්වල මට්ටමකයි ඉන්නේ.‘ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කියා සිටියේය.

කොදෙව් පිල-156 (ඕවර 47.3) බ්‍රිට්නි කූපර් 46, හේලි මැතිව්ස් 24 (ඉනෝකා රණවීර 17/3, ශ්‍රීපාලි වීරක්කොඩි 37/3)

ශ්‍රී ලංකා පිල-125 (ඕවර 45.2) ඉෂානී කෞෂල්‍යා 30, නිපුනි හංසිකා 21 (හේලි මැතිව්ස් 7/3, අනීසා මොහොමඩ් 23/2, ත්‍රෙමානි ස්මාර්ට් 28/2)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා