සියලු ජාතීන් එකතු කිරීම මගේ දේශපාලන දර්ශනයයි

සියලු ජාතීන් එකතු කිරීම මගේ දේශපාලන දර්ශනයයි

රුසියානු මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් පිරිනැමූ
ගෞරව ආචාර්ය උපාධිය පිළිගනිමින් ජනපති කියයි

ත්‍රස්තවාදයෙන් මුදාගෙන එක්සේසත් කළ මාතෘ භූමියේ වෙසෙන සියලු ජාතීන් අධ්‍යාපන හා සංස්කෘතිකමය වශයෙන් යළිත් ඒකරාශී කිරීම සිය දේශපාලන දර්ශනය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

සිය වසර හතළිහක දේශපාලන ජීවිතයේ දැඩි අධිෂ්ඨානය වූයේ ශ්‍රී ලංකා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසයට සුබවාදී ප්‍රතිචාර දැක්වීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

දේශය එක්සේසත් කිරීමෙන් පසු ජනතාවගේ මානසික වේදනා සුවපත් කිරීමට තමන්ට හැකි වෙතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ද විශ්වාසය එයම යැයිද කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ රුසියාවේ මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් පිරිනැමුණු ගෞරව ආචාර්ය උපාධිය පිළිගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ සම්මාන ආචාර්ය පදවිය නිහතමානීව පිළිගන්නා බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ ජයග්‍රහණය පෞද්ගලිකව තමන්ගේ ජයග්‍රහණයක් නොව සමස්ත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ගේ පොදු ජයග්‍රහණයක් බවද පැවැසීය.

පසුගිය වසර හතරක කාලය තුළ සංවර්ධනය අතින් මෙතෙක් නොවූ විරූ ඉසව්වක් කරා රට මෙහෙයවීමට තමාට හැකි වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ගෝලීය ආර්ථික අර්බුද මධ්‍යයේ වූවත් ඒ වසර හතර තුළ රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් වූ බවද සිහිපත් කෙළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට යොමුව සිටි අතරතුර පවා ජනතා සුබසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිසිසේත් අමතක නොකළ බවත්, ජාතියේ සමාජයීය හා සංස්කෘතික යනාදී සියලු ක්ෂේත්‍රයන්හි පෙර නොවූ විරූ වර්ධනයක් දක්නට ලැබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

සමස්ත ලෝකයේ ම අතිශයින් කෲරතර ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභියෝගයට පාත්‍ර වූ ජනතාව අතර සාමය, සෞභාග්‍ය පමණක් නොව ඔවුන්ගේ ජීවත්වීම පවා දශක තුනක් තිස්සේ අඩාල වී පැවතුණා.

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අප දැරූ අවංක උත්සාහයන් ත්‍රස්තවාදීන් විසින් සපුරා ප්‍රතික්ෂේප කරනු ලැබූ පසුව ඔවුන් පරාජය කිරීම සඳහා යුදමය පියවරක් ගැනීමට අපට සිදුවුණා. ඒ වූ කලී ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබූ සිවිල් ජනතාවට ආරක්ෂාව සලසමින් ඔවුන් ගලවා ගැනීම සඳහා දියත් කරනු ලැබූ මානුෂීය මෙහෙයුමක්.

මේ සන්ධ්‍යාභාගයේ දී ඔබ ඉදිරියේ මා පෙනී සිටිනුයේ මුළුමහත් ජනතාව විසින් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් මඟින් නොබෝ දිනකට මත්තෙන් 6 වැනි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුවයි.

එම මැතිවරණයේ දී විරුද්ධ පක්ෂ විසින් දියත් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ වුවද සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රගතිය උදෙසා රටේ ජනතාව විසින් 58%ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් මා නැවතත් පත්කර ගනු ලැබ තිබෙනවා.

වර්තමානයෙහි ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ද, අප ගොඩනඟා ගෙන යන විශ්වාසනීයත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. බලශක්තිය, මානව සම්පත් සහ බැංකු කටයුතු යනාදිය සඳහා අනාගත සැලසුම් දැනටමත් නිම කර අවසන්.

එසේම දරිද්‍රතාවයේ පීඩනය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතිනවා. එපමණක් නෙවෙයි. ජාත්‍යන්තරය විසින් දැනට අප පිළිගනු ලැබ ඇත්තේ නැඟී එන මධ්‍යම ප්‍රමාණයේ ආදායම්ලාභී වෙළෙඳපොළ ආශි‍්‍රත ජාතියක් වශයෙනුයි. එම හේතූන් මත ලොව විවිධ දේශයන්හි ආයෝජකයන් අතර ශ්‍රී‍්‍රලංකාව අතිශයින්ම ජනපි‍්‍රය වෙළෙඳ මධ්‍යස්ථානයක් වී තිබෙනවා.

මිත්‍රවරුනි,
ජනතා මිත්‍රත්ව සරසවිය විවිධ ජාතීන්, වාර්ගිකයන් සහ ආගමිකයන්් අතර දැනුම බෙදාලීමෙන් එක්සත් බවක් ඇති කිරීමට ඇපකැප වී ක්‍රියා කරන ආයතනයක්. බවද මා මෙහිදී සිහිපත් කළ යුතුයි.

විශ්වවිද්‍යාලයේ ආරම්භයට හේතු වූ පැට්‍රික් ලුමුම්බාගේ ජීවිතයෙන් උකහා ගත හැකි උදාර අරමුණ වන්නේ දේශපාලන මධ්‍යස්ථභාවය අනුව කවරකු සමඟ වේවා මිත්‍රශීලීබව පවත්වාගෙන යාමයි. ඉදිරි කාලය තුළ දී මුහුණපෑමට සිදුවිය හැකි දැවැන්ත අභියෝගයන්ට මුහුණපෑමේ දී මවිසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය වශයෙන් සලකනුයේ ද එයමයි.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල දසදහස් සංඛ්‍යාත පිරිසකට ඉහළ මට්ටමේ ෂශ්වවිද්‍යාලීය අධ්‍යාපනයක් ලබාදීමෙන් මානව සංහතියට සම්මානනීය සේවා දායකත්වයක් ලබා දුන් ආයතනයක් වශයෙන් රුසියානු මිත්‍රත්ව සරසවියට එහි 50 වැනි සංවත්සර අවස්ථාවේ මාගේ ප්‍රසංශාව පුද කරනුයේ ඉමහත් සතුටින්.

එම දායකත්වය මඟින් රුසියානු ජනතාව තුළ පවත්නා ත්‍යාගශීලී බව කෙරෙහි ඇපකැපවීමේ ගුණාංගය මැනවින් ප්‍රදර්ශනය කෙරෙනවා. මගේ රටේ පුරවැසියන් දහස් ගණනක් මේ සරසවියෙන් උපාධි ලබා ගෙන තිබෙන බව මා මෙහිදී සතුටින් සිහිපත් කිරීමට කැමැතියි.

නිදසුනක් වශයෙන් මාගේ බාල සොහොයුරා ද මේ ශ්‍රේෂ්ඨ විද්‍යායතනයේ උපාධිධාරියෙක් වීම සතුටට කරුණක්. එසේම 70 දශකයේ දී මේ සම්භාවනීය විශ්වවිද්‍යාලයට පැමිණීමේ භාග්‍යය මටද අත්වුණා.

මාගේ දේශනය අවසන් කිරීමට මත්තෙන් බුදුරජාණන්වහන්සේගේ පූජනීය දේශනය ඇතුළත් ධම්ම පදයේ අප්පමාද වග්ගයෙන් යමක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එහි සිහි කල්පනාව නොහොත් සතිය පිහිටුවා ගැනීම පිළිබඳව මෙසේ සඳහන් වෙනවා.

උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරීනෝ
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති

ඉන් අදහස් වන්නේ සතිය, උට්ඨාන වීර්යය පාරිශූද්ධත්වය ඉවසීම සහ දැහැමි බව මිනිසා කීර්තියටත්, සෞභාග්‍යයටත් මෙහෙයවන බවයි.

අවසාන වශයෙන් මෙහි පැමිණීම සහ අප හා සතුට බෙදා ගැනීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තුති කරන අතර සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා