දින හතරක දී ලක්‍ෂ හතක් ‘දැයට කිරුළ’ නරඹලා

දින හතරක දී ලක්‍ෂ හතක් ‘දැයට කිරුළ’ නරඹලා

තවත් දින දෙකකින් දීර්ඝ කෙරේ

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන සිවුවැනි දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනය, ගතවූ දින හතර තුළදී ලක්ෂ 7 කට ආසන්න පිරිසක් නරඹා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.

සති අන්තය වූ සෙනසුරාදා හා ඉරිදා යන දෙදිනදී ලක්ෂ 03කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නරඹා තිබෙන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසයි. මේ මස 10 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කැර තිබෙන ප්‍රදර්ශනය තවත් දින කිහිපයක් දීර්ඝ කරන ලෙසට ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව රාජ්‍ය ආදායම් සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

මේ දිනවල මහනුවර පල්ලෙකැළේ ප්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකැර තිබෙන ලේක්හවුස් ප්‍රදර්ශන කුටියේ මුද්‍රණ යන්ත්‍රයක් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ නිරීක්‍ෂණයට ලක්වූ අයුරු. ලේක් හවුස් නියෝජ්‍ය නිෂ්පාදන කළමනාකාර ආර්. එස්. ඒ. රංගල මහතාද මෙහි සිටියි.
ඡායාරූපය - ගාමිණී රාමනායක

නැගීසිටින ජාතියක අභිමානවත් යශෝකීර්තිය දැයට කිරුළ ප්‍රදර්ශනය තුළින් ප්‍රකට වන බවත්, රට ගමන් කරන්නේ කොතැනටද යන්න මෙමඟින් නිරූපණය වන බවත් ඒ මහතා කීය.

ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙයි. මෙය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා විශේෂ දුම්රිය හා බස් සේවා යොදවා ඇත.

නිල ඇඳුමින් සැරසී පැමිණෙන පාසල් සිසු සිසුවියන්ට ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට සංවිධායක මණ්ඩලය අවස්ථාව ලබාදී තිබේ. අක්කර 60ක භූමි ප්‍රමාණයක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයේ රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 500ක් පමණ තිබේ.

ආරක්ෂක හමුදා ප්‍රදර්ශන කුටි නැරඹීම කෙරෙහි මහජනතාවගේ වැඩි අවධානය යොමුව තිබෙන අතර නිරතුරුව එම ප්‍රදර්ශන කුටි මහජනතාවගෙන් පිරී පවතී.

ප්‍රදර්ශන භූමියේ ඉදිකර ඇති ලේක්හවුස් ආයතනයේ කුටිය පාසල් සිසු සිසුවියන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙන අතර එහිදී පුවත්පත් මුද්‍රණය කිරීම ඇතුළු එම අංශයේ සෙසු කටයුතු පිළිබඳව වීඩියෝ දර්ශන හා සජීව වැඩසටහන් මගින් මහජනතාව දැනුම්වත් කැරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා