එජනිස අපේක්ෂකයන් තෝරා ගැනීමේ

එජනිස අපේක්ෂකයන් තෝරා ගැනීමේ
සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

සුදුස්සන් තෝරා ගන්න පරීක්ෂණ මණ්ඩල තුනක්

මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (8) සහ හෙට (9) දිනවල පැවැත් වෙයි.

අපේක්ෂකත්වය සඳහා අයැදුම් කළ අයදුම්කරුවන් අතරින් සුදුස්සන් පළාත් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල තුනක් මගින් තෝරා ගැනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා “දිනමිණ”ට පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන සහෝදර දේශපාලන පක්ෂවලටද ඔවුන්ගේ අපේක්ෂකයන් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස සන්ධානය දැනුම් දී තිබේ.

අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, තොරතුරු හා ජනමාධ්‍ය, ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු තුනක් පත්කැර ඇත.

උතුරුමැද, වයඹ සහ නැඟෙනහිර පළාත්වල අපේක්ෂකයන් තෝරන කමිටුවේ සභාපතීත්වය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් හොබවන අතර අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරු සහ මහීපාල හේරත් මහ ඇමැතිවරයා එහි සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල අපේක්ෂකයන් තෝරන කමිටුවේ සභාපතිධූරය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයාට හිමිව ඇති අතර ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. බී. නාවින්න, රංජිත් සියඹලාපිටිය ඇමැතිවරු එහි සාමාජිකයෝ වෙති.

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව දකුණ සහ නැගෙනහිර පළාත්වල අපේක්ෂකයන් තෝරන කමිටුවේ සාමාජිකයන් වන්නේ ඒ. එච්. එම්. ෆවුසි, සී. බී. රත්නායක ඇමැතිවරු සහ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහ ඇමැතිවරයාය.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන අපේක්ෂකයන්ගේ අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අභියාචනා කමිටුවක්ද සන්ධානය විසින් පත්කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති දී.මු. ජයරත්න, ඇමැති ඩලස් අලහප්පෙරුම, ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා එහි සාමාජිකත්වය දරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් තේරීමේ කටයුතු පෙබරවාරි මස 15 වැනි දින වනවිට අවසන් කිරීමට සැලසුම් කැර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා