මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හේතුවෙන්

මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හේතුවෙන්

ලංකාවේ තරුණ ස්වාමි පුරුෂයන්ගේ මරණ වැඩි ප්‍රමාණයක් සිදුවෙනවා

- රුවන්වැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක - වෛද්‍ය පරාක්‍රම අතාවුද

රුවන්වැල්ල ආසනයේ ගැබිණි මවුවරුන් හා ඔවුන්ගේ සැමියන් එක් තැනකට කැඳවා සෞඛ්‍ය උපදේශන සේවා පැවැත්වීමේ වැඩපිළිවෙළේ තවත් සම්මන්ත්‍රණයක් මාර්තු මාසයේ පැවැත්වීමට සබරගමුව පළාත් සභා මන්ත්‍රී හා රුවන්වැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක වෛද්‍ය පරාක්‍රම අතාවුද මහතා කටයුතු යොදා ඇත.

එම වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය පරාක්‍රම අතාවුද මහතා,

මෙහිදී ගැබිණි මවුවරුන්ගේ පෝෂණ, සෞඛ්‍ය ගැටලු සාකච්ඡා කිරීම හා ඔවුන්ට උපදෙස් දීම හා ගැබිණි බිරියට සැමියා විසින් ආදරයෙන් සැලකිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් දීම මේ වැඩපිළවෙළේ ප්‍රධාන අරමුණයි.

බටහිර රටවල සැමියන් සිය ගැබිණි බිරියට හොඳට සලකනවා, ලංකාවේ මේ තත්ත්වය බොහොම අඩුයි.

විශේෂයෙන් ගැබිණිය සායනයකට පවා යන්නේ තම මව හෝ සහෝදරිය, හෝ හිතවතිය සමඟයි. නමුත් සැමවිට බටහිර රටවල දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ සිට දරුවා ලැබෙන තුරු සියලු කටයුතුවලට ගැබිණි බිරියට සිය සහයෝගය ලබාදෙනවා.

ආදරයෙන් කරුණාවෙන් වෛද්‍ය සායන සඳහා එක්ක ගෙන යනවා. දරුවා ලැබෙන අවස්ථාවේ දී පවා ප්‍රසුතිකාගාරයේ දී බිරිය අසලින්ම සැමියා සිටිනවා.

ගැබිණි බිරිය කෙරෙහි ලාංකික සැමියා තුළ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි.

අද ලංකාවේ සිදුවන තරුණ සැමියන්ගේ හදිසි මරණවලින් වැඩිම හරියක් සිදුවන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා අනිසි ප්‍රතිවිපාකවලින් සිදුවන මරණයි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කොට මෝටර් රථ, මෝටර් බයිසිකල් අධික වේගයෙන් ධාවනය කොට සිදුවන හදිසි අනතුරුවලින් අඩු වයසේ අවු’ 35 – 40 වයස්වල පියවරු පවා මිය යනවා.

ශිරෝසිස්, අක්මා දියවීම්, දියවැඩියාව, වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා ඇතිවන රෝගාබාධ වලින් ද විශාල පිරිසක් මිය යනවා. මා වෛද්‍ය නිලධාරියකු ලෙස වසර 10 ක් පමණ විවිධ රෝහල්වල සේවය කර තිබෙනවා. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණ 1000 ක් පමණ මා සිදු කොට තිබෙනවා.

මා කපා පරීක්‍ෂා කොට බැලූ මෘත ශරීර වලින් වැඩි හරියක් තරුණ පියවරුන් ගේ මෘත ශරීර. ඒවායෙන් වැඩිම ප්‍රමාණයක් 500ක පමණ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා සිදුවූ මරණවල පරීක්‍ෂණ. මෙසේ තරුණ පියවරු මිය යෑම නිසා බොහොමයක් තරුණ මවුවරු තම දරුවන් සමඟ තනි වෙනවා. එය ඉතාමත් ශෝචනීය තත්ත්වයක්.

තම බිරියට, තම දරුවන්ට ආදරය ඇති පියවරු විශේෂයෙන් අධික ලෙස මත්පැනට ගිජුවීම නවතා දැමිය යුතුයි. නැතිනම් ප්‍රතිඵලය භයානකයි. මත්පැනට ගිජුවීම තුළින් ආර්ථික මෙන්ම සෞඛ්‍ය ගැටලු මෙන්ම පවුලේ සමගියට ද බාධා ඇති වෙනවා.

මා රුවන්වැල්ල ආසනයේ සිටින සියලුම ගැබිණි මවුවරුන් හා ඔවුන්ගේ සැමියන් විටින් විට එක් තැනකට රැස් කරනවා.

මොවුන්ට යහපත් සෞඛ්‍ය ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ඔවුන්ට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය බෙහෙත් රෙදිපිලි ලබාදීමට කටයුතු කරනවා.

ලබන මස මේ වැඩපිළිවෙළේ තවත් පියවරක් ක්‍රියාත්මක කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා