ඩී. එෆ්. කාරියකරවනට සුබ උපන් දිනයක්

ඩී. එෆ්. කාරියකරවනට සුබ උපන් දිනයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ 88 වැනි ජන්ම දිනය අදයි. (08) දැනට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ක්‍රියාකාරී මාධ්‍යවේදියා වන්නේ ඔහුය. දනකුගේ ගුරුවරයාය.

ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඩී. එෆ්. කාරියකරවන මහතා ඉන් පසුව ටයිම්ස් ආයතනයට බැඳී පැරැණි ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස නමක් දිනා ගත්තේ ය.

පසුව ‘දිනමිණ’ පුවත්පතේ උපකතුවරයෙකු ලෙස ලේක් හවුස් ආයතනයට එක් වූ ඒ මහතා දිනමිණේ ප්‍රධාන උප කතුවරයා ලෙසද ජනතා පුවත්පතේ කතුවරයා ලෙස වසර 18ක් ද කටයුතු කෙළේ ය. ඒ මහතා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස ද කටයුතු කෙළේ ය.

ක්‍රීඩා යොවුන් ජනතා වැනි පුවත්පත් ඇරැඹීමට ද දායක වූ කාරියකරවන මහතා එම පුවත්පත්වල කතුවරයා ලෙස මෙන්ම ලේ්ක් හවුස් ආයතනයේ සියලු වාර ප්‍රකාශනවල උපදේශක කතෘ ලෙසද කටයුතු කෙළේ ය.

වෘත්තීය පත්‍ර කලා සංගමය සහ ලංකා පත්‍ර කලා සංගමය ද පුවත් පත් මණ්ඩලය වැනි ආයතන ඇරැඹීමට ද කාරිකරවන මහතා පුරෝගාමි මෙහෙවරක නිරත විය.

ඒ මහතා මේ වන විටද ලංකා පත්‍ර කලා සංගමයේ උත්තර අනුශාසකවරයා ය. ඩී. එෆ්. කාරියකරවන මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට නවකයන් රැසක් හඳුන්වා දුන්නේ ය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාට නිරෝගී සුවය සහ සුබ උපන්දිනයක් දිනමිණ අපි ප්‍රාර්ථනා කරමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා