බෙදී වෙන් වූ හදවත් යළිත් එක්කර ශ්‍රී ලංකාව පුංචි පාරාදීසයක් කරනවා

බෙදී වෙන් වූ හදවත් යළිත් එක්කර ශ්‍රී ලංකාව පුංචි පාරාදීසයක් කරනවා

මොස්කව් ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ දී ජනපති කියයි

ත්‍රස්තවාදය තුරන් කර නැවතත් අපේ රට තුළ සාමය උදාවී රට සංවර්ධනය වෙමින් පවතින මේ අවස්ථාවේ රුසියාව සමඟ ඇති හිතවත්කම් ශක්තිමත් කරගැනීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) මොස්කව් ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලයේ) පැවති විශේෂ හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙසේද කීය. ප්‍රකට සාහිත්‍යකරුවකු වූ ඇන්ටන් චෙකොෆ් වරක් ශ්‍රී ලංකාව හැඳින්වූයේ පුංචි පාරාදීසයක් වශයෙනි. දැන් ඒ පාරාදීසය නැවතත් ගොඩ නැඟෙමින් පවතිනවා. ලෝක ආර්ථික පර්යේෂකයින් ශ්‍රී‍්‍ර ලංකාව හඳුන්වා දී ඇත්තේ ආර්ථික වර්ධන වේගය අතින් අපේ රට දෙවෙනි වන්නේ චීනයට පමණක් බවය.

සංචාරය කළ යුතු රටවල් අතරින් පළමු රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත්ව තිබෙනවා. මේ නිසා ත්‍රස්තවාදය හේතුවෙන් තුවාල වූ හදවත් නැවත සුවපත් කර බෙදී වෙන් වූ ඒ හදවත් නැවත යා කරන වැඩපිළිවෙළකට අප හා එක්වන ලෙස රැැසියාවට පමණක් නොව මුළු ලෝකයටම ආරාධනා කරනවා.

තවද රුසියානු සාහිත්‍ය, සංස්කෘතිය අතින් මීට වසර පනහකට පමණ පෙර සිටම ශ්‍රී ලංකාව සමඟ ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා තිබූ බවත් නැවත ඒ තත්ත්වය ඇති කර ඒ තුළින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැඩපිළිවෙළක් ඇති කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ දී මොස්කව් ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පිලිපොච් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ලෝකයේ සාමයට ආදර්ශවත් නායකත්වයක් සැපයූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය විශ්වවිද්‍යාලයට පැමිණීම ඔවුනට විශාල ගෞරවයක් සහ ජයග්‍රහණයක් බවයි.

තවද මීට වසර 50කට පෙර දෙරට අතර ඇති කරගත් සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද එය හේතුවක් වූ බවයි. එමනිසා මෙම පැමිණීම ගෞරවයක් ලෙස සලකා ශ්‍රී ලංකාවට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීමට තමා කටයුතු කරන බව ද පිලිපොච් මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා දෙවැනි වරටත් ජයග්‍රහණය කරවීමෙන් පළමුවරට ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා දෙමින් මෙරට ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමෙන් ම ශ්‍රී ලාංකික ජනතාවට එතුමා කෙතරම් වුවමනා ද කියා තමන්ට තේරුම් ගැනීමට හැකි වූ බවත් එය මුළු ලෝකයේම නායකයින්ට ආදර්ශයක් බවත් පිලිපොච් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් අනතුරුව ලෝකයට සාමය ගෙන ආ රජු ලෙස හැඳින් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සමරු තිළිණයක් ලෙස රනින් නිම කළ මැණික් ඔබ්බවා තැනූ ඔටුන්නක් තිළිණ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිසු සිසුවියෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා