මහ කන්නයේ වී මෙ.ටො. 140,000ක් මිලදී ගන්න රජය සැරසෙයි

මහ කන්නයේ වී මෙ.ටො. 140,000ක් මිලදී ගන්න රජය සැරසෙයි

එළඹෙන මහ කන්නයේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 140,000 ක් මිලදී ගැනීම සඳහා සැළසුම් කැර ඇතැයි රජය සඳහන් කරයි.

මේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක කෙරෙන අතර වී මිලදී ගැනීම ලබන මාසයේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

වී ගබඩා කිරීමේ පහසුකම් දැනටමත් සම්පූර්ණ කරගෙන යන බව කී ඇමැතිවරයා වී මිලදී ගැනීම රජය මගින් විධිමත් ආකාරයට සිදුකරන බවද කියා සිටී.

මෙහිදී රජය නාඩු වර්ගයේ වී කිලෝවක් සඳහා රුපියල් 28 කටද සම්බා වර්ගයේ වී කිලෝවක් රුපියල් 30 කටද මිලදී ගැනීමට නියමිත අතර සමස්තයක් ලෙස වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 4000 ක මුදලක් වෙන්කැර ඇත.

මේ සමඟම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වතු අංශය සඳහා සහන මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක අතර ඊට අමතරව සුදු සහල් කිලෝවක මිල රුපියල් පහකින් අඩු කිරීමටද රජය බලාපොරොත්තු වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා පිහිටි සමූපකාර සමිති වෙත අවශ්‍ය කෙරෙන සහල් තොග දැනටමත් යොමුකැර ඇති අතර පෞද්ගලික වෙළෙඳුන්ගේ ඒකාධිකාරයට එරෙහිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා