රු.කෝටි 15,000 ක වියදමින් වවුනියා නගරය සංවර්ධනයට පියවර

රු.කෝටි 15,000 ක වියදමින් වවුනියා නගරය සංවර්ධනයට පියවර

උතුරු පළාතේ සියලු නගරයන්හි පිවිසුම් දොරටුව ලෙස හැඳින්වෙන වවුනියාව නගරය රුපියල් කෝටි 15,000 වියදමින් අංගසම්පූර්ණ නගරයක් ලෙස සංවර්ධන කිරීමට රජය සැලසුම් සකස් කර ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන මේ වැඩපිළිවෙළ යටතේ වවුනියාව නගරය ආශ්‍රිත ග්‍රාම නිලධාරි කොට්ඨාස 25 ක් ආවරණය වන පරිදි හෙක්ටයාර් 11,480 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිතය.

මේ යටතේ තාණ්ඩිකුලම්හි නව ප්‍රධාන පරිපාලන සංකීර්ණයක් ඉදිකෙරෙන අතර ඕමන්ත ප්‍රදේශයට ආසන්නයේ විශේෂිත කර්මාන්ත කලාපයක් ස්ථානගත කොට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අපේක්ෂිතය.

පුන්තොට්ටම් ප්‍රදේශයේ ක්‍රීඩා සංකීර්ණයක් ස්ථාපිත කොට දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ඒකාබද්ධ කර ප්‍රධාන මගී ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිතය. රාජ්‍ය සේවක නිල නිවාස හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා නව හෝටල් ඉදිකිරීම හා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ.

ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 74 ක් වී වගාව ඇතුළු කෘෂි භෝග වගා කිරීමට යොදා ගැනෙන අතර වාණිජ කටයුතු නිමිත්තෙන් සියයට 12 ක භූමි ප්‍රමාණයක් හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනික ගොඩනැගිලි සඳහා සියයට 5 ක භූමි ප්‍රමාණයක්ද වෙන් කොට ඇත.

වවුනියා නගරය වෙළෙඳ වාණිජ ප්‍රවාහන හා පරිපාලන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කෙරෙන අතර ඒ යටතේ පැය 24 පුරා ජල විදුලිය දුරකථන ආදි පහසුකම් ලබාදී නගර අලංකරණය කිරීමට සැලසුම් සකස් කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා