සිසුන් 21,000ක් මේ වසරේ විශ්වවිද්‍යාලවලට

සිසුන් 21,000ක් මේ වසරේ විශ්වවිද්‍යාලවලට

26 වෙනිදා දක්වා අයදුම්පත් භාර ගැනේ

විශ්වවිද්‍යාලය සඳහා මේ වසරේ සිසුන් විසි එක් දහස (21000) ක් බඳවා ගැනීම සඳහා ලබන 26 වැනිදා දක්වා ඉල්ලුම්පත් බාර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.

පසුගිය අධ්‍යයන වර්ෂයට බඳවා ගත්තේ සිසුන් 20000ක් බවත් මෙවර පාඨමාලා 80ක් සඳහා සිසුන් 21,000 බඳවා ගැනෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීවේ ය.

බොහෝ සිසුන් පාඨමාලා එකකට හෝ දෙකකට වඩා ඉල්ලුම් නොකරන බව පවසන සභාපතිවරයා ඉල්ලුම් කළ හැකි සෑම පාඨමාලාවක් සඳහාම අයදුම්පත් යොමු කරන්නයි සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

වෛද්‍ය අංශයට ඉල්ලුම් කරන සිසුන් පශු වෛද්‍ය හෝ ආයුර්වේද වෛද්‍ය පාඨමාලාවලට ඉල්ලුම් කිරීමට මැලිවන බව පෙන්වා දෙන සභාපතිවරයා එසේ නොකොට හැකි සෑම පාඨමාලාවකටම අයදුම් කිරීමේ වටිනාකම පෙන්වා දුන්නේ ය.

මේ අතර යාපනය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාල දෙකේම වෛද්‍යපීඨ සඳහා නියමිත සිසුන් ප්‍රමාණය මෙවර ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම තීරණය කර ඇත.

මීට ඉහත යාපනයයට ගමන් පහසුව නැති වීමත් නැෙඟනහිර විශ්වවිද්‍යාලයේ පැවැති තත්ත්වයත් නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී මතු වූ ගැටලුකාරී බව රටට සාමය උදා වීමෙන් පසු සම්පූර්ණයෙන්ම නැති වී තිබෙන බැවින් මෙවර සිසුන් ඇතුළත් කිරීමට බාධාවක් නැතැයි ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීවේ ය.

ඒ 9 මාර්ගය විවෘත බැවින් යාපනය විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. නැඟෙනහිරත් ගැටලු නැහැ. මේ විශ්වවිද්‍යාල දෙකට අතිරික්ත සිසුන් ඇතුළත් කිරීමට එහි තිබෙන පහසුකම් ගැනත් සොයා බලනවා යැයි ද මහාචාර්ය සමරනායක මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා