මාමාගේ වියෝවෙන් දුකට පත් දහනව හැවිරිදි තරුණිය දිවි පුදයි

මාමාගේ වියෝවෙන් දුකට පත් දහනව හැවිරිදි තරුණිය දිවි පුදයි

”හර්ෂ මාමාට මොනවාහරි වුණොත් මමත් මැරෙනවා” යැයි තම මිතුරියකට පැවසූ දහනව හැවිරිදි අලහකෝන් මුදියන්සේලාගේ කමනී නිසංසලා නමැති තරුණිය පසුගිය 6 දා පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.

වෙඩි තැබීමකින් මරණයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු වූ රඹුක්කන ව්‍යාපාරික හර්ෂ හෙට්ටිආරච්චි මහතාගේ මරණය සැලවීමෙන් පසු මේ තරුණිය සියදිවි නසාගෙන ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

රඹුක්කන නාගරික හදිසි මරණ පරීක්ෂක කේ. ආර්. විජේසිරිවර්ධන මහතා විසින් මේ මරණය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයේදී සාක්කි දුන් මියගිය තරුණියගේ මව වන කරුණාරත්නගේ චන්ද්‍රාවතී (49) මහත්මිය මෙසේ පැවසුවාය.

“වෙඩි වැදීමකින් තුවාල ලැබූ හර්ෂ හෙට්ටිආරච්චි මහතා අපේ පවුලට බොහෝ උදව් උපකාර කළා. පාරේ යන එන විට අපේ ගෙදරට ද ගොඩවී යනවා. කෑම බීම ආදියත් ගෙන එනවා.

ඔහුට වෙඩි තබා ඇති බව ඇසීමෙන් මියගිය දුව බොහෝ කනගාටුවෙන් පසුවුණා. “හර්ෂ මාමාට මොනවාහරි වුණොත් මමත් මැරෙනවා” කියලා කළින් දින රාත්‍රියේ ඇගේ මිතුරියකට කියා තිබෙනවා. මියගොස් ඇත්තේ මගේ බාල දියණියයි.

අපට තවත් එක් වැඩිමහල් දියණියක් සිටිනවා. මාගේ සැමියා අංශබාග රෝගයෙන් ඔත්පලව නිවෙසේ සිටිනවා. වෙඩි තැබීමෙන් මියගිය හර්ෂ හෙට්ටිආරච්චි මහත්තයා අපේ පවුලට බොහෝ උදව් උපකාර කළා.

කෑම බීම ආදියත් ගෙනැවිත් දෙනවා. ඒ නිසා අපේ බාල දියණිය හර්ෂ මහත්තයාට හුඟාක් ආදරයෙන් හිටියා. එයාට කළින් දවසේ කවුද වෙඩිතියලා කියලා ආරංචි වූ වෙලාවේ ඉඳන් දුව ලොකු දුකකින් සිටියා.

හර්ෂ මාමාට මොනවාහරි වුණොත් මමත් මැරෙනවා කියලා දුව කියලා තිබුණත් අපි ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ. පසුවදා පාන්දර මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හර්ෂ මහත්්තයා මියගිය බව අපට ආරංචි වුණා.

ඊට පැය කීපයකට පස්සේ අපේ දුව කෝච්චියට පැනලා කියලා දැනගත්තා. හර්ෂ මහත්තයා මියගිය ශෝකය නිසා දුව කෝච්චියට පනින්න ඇති කියලා මම හිතනවා. මේ මරණය ගැන වෙනත් සැකයක් නැහැ.” යැයි කීවාය.

මියගිය තරුණිය ජීවත්වූ රඹුක්කන, කොටුවේගෙදර පදිංචි ඇගේ වැඩිමහල් සොයුරිය වන සාවිත්‍රී සමන්තා අලහකෝන් (24) අයද මෙහිදී සාක්කි දුන්නාය.

රඹුක්කන රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී. එම්. කරුණාරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. මෙසේ දුම්රියට පැනීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට ලේ වහනයවීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කළ අතර, රඹුක්කන පොලිසියේ සැරයන් 1567 එදිරිසිංහ මහතා සාක්කි මෙහෙයවීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා