ත්‍රස්තවාදයට එරෙහි අද්විතීය නායකත්වය වෙනුවෙන්

ත්‍රස්තවාදයට එරෙහි අද්විතීය නායකත්වය වෙනුවෙන්
ජනපති මහින්ද රාජපක්ෂට රුසියාවෙන් උපාධියක්

දශක තුනක කුරිරු ත්‍රස්තවාදය පරාජය කැර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ලබාදුන් අද්විතීය නායකත්වය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුසියාවෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ පනස් වැනි සමරු උළෙලේ දී ජනාධිපතිවරයා වෙත පෙරේදා (7) මේ ගෞරව ආචාර්ය උපාධිය මහත් හරසර මධ්‍යයේ පිළිගන්වනු ලැබිණි.

රුසියානු මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පිලිපොව් මහතාගේ අතින් ජනාධිපතිවරයා වෙත මේ ආචාර්ය උපාධිය පිළිගැන්වුණු සමරු උළෙලට

රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙදිවදිව් මහතා ද එක්ව සිටියේ ය. කලින් පැට්‍රීෂියා ලුමුම්බා විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වුණු රුසියානු මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ලෝක සාමය සහ විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් දක්වන අද්විතීය නායකත්වයන් අගයමින් රාජ්‍ය නායකයන් සහ විද්වතුන් වෙත 1995 වසරේ සිට මේ ගෞරව ආචාර්ය උපාධිය පිරිනමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ජනාධිපතිවරුන් පස් දෙනෙකු සහ අගමැතිවරුන් කිහිප දෙනකු මේ වන විට මේ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා රුසියාවේ, මොස්කව් නුවර විනුකෝවා, ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියානු නායකයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.

ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති, අගමැතිවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා