සත්ත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන්

සත්ත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන්
‘මෛත්‍රී භූෂණ’ උපහාර සම්මාන පිරිනැමේ

මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය අමරපුර මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත වැලිගම ශ්‍රී ඥාණරතන මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ් පිහිටි “ධර්ම ගවේශි” බෞද්ධාශ්‍රම ශාලාවේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.

සත්ත්ව හිංසනය පිටුදැක සමාජය තුළ මෛත්‍රීය ස්ථාපිත කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මෙම ගෞරව නාම සම්මාන පිිරිනැමෙන අතර “මෙත් සවිය” මනස අධ්‍යාපන සංවර්ධන සංසදය විසින් මෙම උත්සවය සංවිධානය කෙරිණි.

සත්ත්ව හිංසනය පිටුදැක සමස්ත සමාජය වෙත ආදර්ශවත් පණිවිඩයක් ලබාදීමෙහිලා කැප වී සිටින රාජකීය පණ්ඩිත අහංගම ආනන්ද හිමිපාණන් වෙත “මෛත්‍රී භූෂණ අභය දානපති” ගෞරවනාම සම්මානයද, සමස්ත ලංකා ඒකාබද්ධ සත්ත්ව අහිංසා මහා සම්මේලනයේ උප සභාපති වෛද්‍ය ඇල්බඩ සුනිල් ලියනගේ මහතා වෙත “මෛත්‍රී භූෂණ අහිංසා සාධක’ ගෞරව නාම සම්මානයද මෙහිදී පිරිනැමිණි.

රාජකීය පණ්ඩිත පූජ්‍ය අහංගම ආනන්ද හිමිපාණන් වෙත අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත වැලිගම ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් අතින් ගෞරව නාම සම්මානය පිිරිනැමුණු අතර වෛද්‍ය ඇල්බඩ සුනිල් ලියනගේ මහතා වෙත කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් විසින් ගෞරව නාම සම්මානය පිරි නමනු ලැබීය.

සත්ත්ව හිංසනය තුරන් කොට ගහ-කොළට පවා කරුණාව දැක්වීම වෙනුවෙන් “මෙත් සෙවන” ඉමහත් කාර්යභාරයක් ඉටුකරන බවත්, මෙහිදි ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හරහා 5000 ක ගේ පමණ මනස සුවපත් කරවීමට හැකි වී තිබෙන බවත් අනුශාසනාවක් කරමින් පූජ්‍ය අහංගම ආනන්ද නාහිමියෝ පැවැසූහ.

විවිධ සංගම් 11 ක් ඒකරාශී කැරගෙන සත්ත්ව ඝාතනය නැවත්වීමට කටයුතු කරගෙන යන බව පැවැසූ උන්වහන්සේ විශේෂ නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින් සත්ත්ව හිංසනය තුරන් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවද පැවැසූහ.

“මෙත් සවිය” සභාපති ආචාර්ය චන්දන ජයරත්න මහතා කතා කරමින් කියා සිටියේ සත්ත්ව හිංසනය වළකා සමාජය තුළ මෛත්‍රීය ස්ථාපිත කිරීම වෙනුවෙන් කටයුතු කරන පිරිස් දිරි ගැන්වීම හා ඔවුන්ගේ කැපවීම ඇගයීම වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා