දැයට කිරුළට ඇදෙන මහ ජන ගඟ සැබෑ නිදහසේ අගය කියාපානවා

දැයට කිරුළට ඇදෙන මහ ජන ගඟ සැබෑ නිදහසේ අගය කියාපානවා

- මධ්‍යම පළාත් මහ ඇමැති

‘දැයට කිරුළ’ නැරඹීමට පැමිණෙන ජන ගංඟාවෙන් පෙනී යන්නේ නිදහසින් පිරි හොඳ පරිසරයක් මේ රටේ නිර්මාණය වී ඇති බව යැයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.

ප්‍රධාන අමාත්‍යවරයා එම අදහස් පළ කෙළේ පසුගියදා (05) දෙවන දිනට යෙදුන මහනුවර පල්ලේකැළේ පවත්වනු ලබන ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,

මෙවර ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය කොළඹින් බැහැරව ගැමි පරිසරයක පැවැත්වීමට ජනාධිපතිතුමා ගනු ලැබූ තීරණය අද මල් ඵල ගැන්වී තිබෙනවා. මෙය ආරම්භ කළ දින (04) පස්වරුවේ සිට වැල නොකැඩී පැමිණෙන දස දහස් ගණනක් වූ ජනතාවගෙන් මේ පළාතට මෙය ලැබීමේ අගය මනාව පෙනී යනවා. කවදාවත් මෙතරම් ජනතාවක් කොළඹ වැනි ප්‍රදේශයකට ගොස් මෙවැනි ප්‍රදර්ශන නරඹන්නේ නෑ.

දසක තුනකටත් වැඩි කාලයත් අති බිහිසුණු යුද්ධයක් පැවැති මේ රටේ මිනිසුන්ට තිබූ මානසිකත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් අද අපි ඒ ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දමා ඉවරයි.

මේක බොහෝ දෙනෙකුට සිහිනයක් වුණත් අපේ ජනාධිපතිතුමා ඒ සිහිනය සැබෑකර දී තිබෙනවා. ඒ නිදහසින් පසු පවත්වනු ලබන ප්‍රථම ‘දැයට කිරුළ’ මහා ප්‍රදර්ශනය දැන් පැවැත්වෙනවා.

මීට පෙර පැවැති ප්‍රදර්ශනවලට වඩා අති සාර්ථක අන්දමින් මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කිසිම බියකින් සැකයකින් තොර නිදහස් රටක වීම අපි කාටත් ආඩම්බරයක්.

සිය නිර්මාණ හැකියාවන්ට නිෂ්පාදනයන්ට මුල්තැන දී, ඒ ඔස්සේ ලබාදෙන දැනුම, සතුට සැමට ලබාගත හැකි හොඳ දැක්මකින් යුතු ප්‍රදර්ශනයක් ලෙස මෙය ඉතා අගේ කොට සැලකිය හැකියි. මේ සඳහා සැම දෙනාටම සක්‍රියව සහ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.

ජනාධිපතිතුමා ලෝකයේ උතුම්ම රට බවට අපේ රට පත්කිරීමට ගන්නා උත්සාහයේ දී ඊට සමගාමිව යන ආර්ථික මහා සංග්‍රාමයේ කොටස්කරුවන් වන අපිට මෙවැනි ප්‍රදර්ශන වලින් ලබාගත හැකි දැනුම් සම්භාරය මිල කළ නොහැකි යැයි ද ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා