රාහුල ස්ථවිර චරිතය අතීත කතාව

රාහුල ස්ථවිර චරිතය අතීත කතාව

මෙම ලිපියේ මුල් කොටස සැප්තැම්බර් 05 සහ 19 සහ 26දා සහ ඔක්තෝබර් 03දා පළ විණි.

“රාහුල අහස හා සමකොට භාවනාව වඩව. රාහුල අහස හා සමකොට භාවනාව කරන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල යම් සේ අහස කොතැන්හි වත් නොපිහිටියේ ද රාහුල එපරිද්දෙන් ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. රාහුල අහස සමකොට භාවනාව කරන්නා වූ ඔබට පන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නො සිටිත්.

රාහුල මෛත්‍රී භාවනාව වඩව. රාහුල මෛත්‍රී භාවනාව වඩන්නා වූ ඔබ තුළ යම් ක්‍රෝධයක් වේ ද එය නැතිව යන්නේය.

රාහුල කරුණා භාවනාව වඩව. රාහුල කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේ ද එය නැතිව යන්නේය.

රාහුල මුදිතා භාවනාව වඩව. රාහුල මුදිතා භාවනාව වඩන්නා වූ ඔබගේ යම් අරතියක් (අධි කුශල ධර්මයන්හි නො ඇලීමක්) වේ ද එය නැතිව යන්නේය.

රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල අසුභ භාවනාව වඩන්නාවූ ඔබ තුළ යම් රාගයක් වේ ද එය නැතිව යන්නේය.

රාහුළ, අනිච්චසඤ්ඤා භාවනාව වඩව. රාහුළ අනිච්චසඤ්ඤා (ඇතිව නැති වෙයි යන හැඟීම) භාවනාව වඩන්නා වූ ඔබ තුළ යම් මානයක් වේ ද එය නැතිව යන්නේය.

රාහුල, ආනාපානසති භාවනාව වඩව. රාහුල ආනාපානසති භාවනාව වඩන ලද්දී බහුල වශයෙන් කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. රාහුල, කෙසේ වඩන ලද කෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වේ ද?

රාහුල, මේ සස්නෙහි භික්‍ෂූවක් වනයට හෝ රුක්මුලට හෝ හිස් ගෙයකට හෝ ගොස් පළඟ බැඳ ගෙන කය ඍජුව තබා සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට පිහිටුවා හිඳියි. හෙතෙමේ සිහි ඇතිවම ආශ්වාස කරයි. (හුස්ම ගනී) සිහි ඇතිවම ප්‍රාශ්වාස කරයි (හුස්ම හරී) දීර්ඝ කොට ආශ්වාස කරමින් දීර්ඝ කොට ප්‍රාශ්වාස කරමි යි දනී. කොටින් ආශ්වාස කරමින් දීර්ඝ ප්‍රාශ්වාස කරමි යි දනී. කොටින් ආශ්වාස කරමින් කොටින් ආශ්වාස කරමි යි දනී. කොටින් ප්‍රාශ්වාස කරමින් කොටින් ප්‍රාශ්වාස කරමි යි දනී. සියලු ආශ්වාස කායයාගේ ආදී මධ්‍ය අවසාන ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි.

සියලු ප්‍රාශ්වාස කායයාගේ ආදී මධ්‍ය අවසානය ප්‍රකට කොට දනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ඔලාරික කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ඔලාරික කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. (කාය සංස්කාර නම් ආශ්වාස - ප්‍රාශ්වාස යි.) එය චිත්ත සමුට්ඨාන වුව ද කය පිළිබඳව පවත්වා බැවින් කාය සංස්කාරයයි කියන ලදී. පී‍්‍රතිය දනිමින් – ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි, ‘පී‍්‍රතිය දනිමින් – ප්‍රකට කර ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සුඛය දැන ගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත අභිප්‍රමොද කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි, සිත අභිප්‍රමොද කරමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත (ප්‍රථම ධ්‍යානාදි අරමුණෙහි, සමකොට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සිත ධ්‍යානාදි අරමුණෙහි) සමකොට පිහිටුවමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නීවරණාදියෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි.

නීවරණාදියෙන් සිත මුදමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍යයයි දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. අනිත්‍යයයි දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. විරාගය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. විරාගය දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි. පටිනිස්සග්ගය (විදර්ශනා හා මාර්ග) අනුව බලමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. පටිනිස්සග්ගය අනුව බලමින් ප්‍රාශ්වාස කරන්නෙමි යි හික්මෙයි.

රාහුල, මෙසේ වඩන ලද බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වේ. රාහුල, මෙසේ වඩන ලද මෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද ආනාපාන සතිය පිළිබඳ යම් ආශ්වාස ප්‍රාශ්වාසයෝ වෙත් ද ඒ ආශ්වාස ප්‍රාශ්වාසයෝ නොදැන නොව, දැන ගෙනම නිරුද්ධ වෙති. (නවතිත්.)

භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව රාහුල හෙරණපාණෝ සතුටින් පිළිගත්හ.

රහත්වීමට දෙසූ ධර්මය

හෙරණපාණන්ගේ නුවණ මුහුකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයෙහි ගසක් මුල වැඩ හිඳ උපසපන් වූ අලුතම රාහුල භද්‍රයනට මෙසේ වදාළ සේක. “රාහුල, ඒ කුමකැයි සිතන්නෙහිද? ඇස නිත්‍ය ද අනිත්‍ය ද?”

ස්වාමීනි, අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් එය දුකක් ද සුවයක් ද?

ස්වාමීනි, දුකකි.

යමක් අනිත්‍ය නම් දුක පෙරළෙන ස්වභාව අත්තේ නම් එය මාගේ ය. එය මම වෙමි, එය මාගේ ආත්මය යි ගන්නට සුදුසු ද?

නැත ස්වාමීනි.

රාහුල, ඒ කුමකැයි සිතන්නෙහි ද? රූපය නිත්‍ය ද අනිත්‍ය ද?

ස්වාමීනි, අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් එය දුකක් ද සුවයක් ද?

ස්වාමීනි, දුකකි.

යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වාභාව ඇත්තේ නම් එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්ම යයි ගන්නට සුදුසු ද?

නැත ස්වාමීනී

රාහුල, ඒ කුමකැයි සිතන්නෙහි ද? චක්ඛු විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද?

ස්වාමීනි, අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් එය දුකක් ද සුවයක් ද?

ස්වාමීනි දුකකි.

යමක් අනිත්‍ය නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්ම යයි ගන්නට සුදුසු ද?

නැත ස්වාමීනි.

රාහුල, ඒ කුමකැයි සිතන්නෙහි ද? චක්ඛු සම්එස්සය නිත්‍ය ද අනිත්‍ය ද?

ස්වාමීනි, අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් එය දුකක් ද සුවයක් ද?

ස්වාමීනි, දුකකි.

යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන සුළු නම් එය මාගේය. එය මම වෙමි, එය මාගේ ආත්ම යයි ගන්නට සුදුසු ද?

නැත ස්වාමිනී,

රාහුල, ඒ කුමකැයි සිතන්නෙහි ද? චක්ඛු සම්ඵස්සය නිසා හටගන්නා වූ යම් වේදනාවක් යම් සඤ්ඤාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් වේ ද එය නිත්‍ය ද අනිත්‍ය ද?

ස්වාමිනී අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් එය දුකක් ද සුවයක් ද?

ස්වාමිනී, එය දුකකි.

යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුළු නම් එය මාගේය. එය මම වෙමි, එය මාගේ ආත්ම යයි ගන්නට (බලන්නට) සුදුසු ද?

නැත ස්වාමිනී.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඇස ගැන මෙන්ම කණ, නැහැය, දිව, කය, සිත යන අනෙක් ඉන්ද්‍රිය පස ගැන ම මුලින් කී ලෙස වදාරා.

රාහුල, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කළකිරෙයි. රූපයෙහි කළකිරෙයි. චක්ඛු විඤ්ඤාණයෙහි කළකිරෙයි. චක්ඛු සම්ඵස්සයන් කළකිරෙයි. යම් මේ චක්ඛු සම්එස්සයන් හේතු කොට ගෙන ;ව්දනාවක් සඤ්ඤාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදී ද එහි ද කළකිරෙයි. (මුලින් කී පරිදි) කණ, නැහැය, දිව, කය, සිත ආදියෙහි කළකිරෙයි. ධම්මාරම්මණයෙහි කළකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහි කළකිරෙයි. මනෝ සම්ඵස්සයෙහි කළකිරෙයි. මනෝ සම්ඵස්සය හේතු කොට ගෙන යම් වේදනාවක් සඤ්ඤාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදී ද එහි ද කළකිරේ. කළකිරෙන්නේ නො ඇලෙන්නේය. නො ඇලීමෙන් මිදෙයි. විමුක්ත වූ කල්හි විමුක්ත යයි ඥානය ලබයි. ඉපදීම අවසන් වේ. බඹසර වැස නිමවන ලද්දේ ය. කළයුත්ත කර නිමවන ලදී. ඉන්පසු මේ ආත්ම භාව පිණිස කළයුත්තක් නැතැයි දන්නේය.”

මේ දේශනාව ඇසීමෙන් රාහුල ස්වාමීන් වහන්සේ රහත් වූහ. බොහෝ දෙවියෝ සෝවාන් ආදී මඟ ඵල ලැබූහ.

පසු කාලයෙක භාග්‍යවතුන් වහන්සේ සඟ මැද වැඩහුන් සේක් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සික්ඛා කාමානං යදිදං රාහුලො’ යනුවෙන් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක වූ ශික්‍ෂාකාමී භික්‍ෂුන් අතුරෙන් රාහුල අග්‍රය’යි වදාළ සේක. වැඩිකල් ජීවත්ව නොසිට බුදුරජාණන් වහන්සේටත් දෑගසවුවන් වහන්සේටත් පෙර ඒ හිමියෝ පිරිනිවන් පෑහ. කීකරුකම, අවවාද සතුටින් පිළිගන්නා බව, හික්මීමට ඇති කැමැත්ත, නිහතමානී බව, කාටත් පි‍්‍රයවන බව යන ආදී මේ රාහුල මාහිමියන් වහන්සේ තුළ පැවැති විශේෂ ගුණ ආදර්ශයට ගෙන අපි උන්වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදමු. නිති ඒ හිමියන් ගුණ සමරමු.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!

නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!!

අම්පිටියේ ශ්‍රී රාහුල හිමි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා