කර්මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපානවා ද?

කර්මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපානවා ද?

කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කිය යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත්, බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝග බහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍රශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

සත්ත්වයකුට කර්මයෙන් සිදු කරන ප්‍රධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීම ය. සැම සත්ත්වයකු ම උපදින්නේ ඔහු විසින් අතීතයෙහි කළ කර්මයක් විපාක භාවයට පැමිණීම් වශයෙනි. මරණයට ඉතා ළංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයෙහි කොට යටපත්වී ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ.

සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහු ගේ සිතට පෙනෙන්නට වේ. කර්ම නිමිති නම් විපාකදීමට මතුවී ඇවිත් ඇති, කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ වූ හෝ වස්තූහු ය. ගති නිමිත්ත නම් මතුවී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයෙහි ඇති දේවල් ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්ත්වයා ගේ සිතට වැටහීමෙන් පරණ වූ කර්මය එකෙණෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ.

මැරෙන සත්ත්වයා ගේ ඒ භවයෙහි අන්තිමට උපදනා සිත ඉපද නිරුද්ධ වනු සමඟ ම මරණාසන්නයෙහි වැටහුණු කර්ම – කර්ම නිමිත්ත – ගති නිමිත්තයන් ගෙන් එකක් අරමුණු කෙරෙමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් දෙවන භවයෙහි පළමුවන සිත පහළ වේ. එයට ‘ප්‍රතිසන්ධිචිත්තය’ යි කියනු ලැබේ. ඒ ප්‍රතිසන්ධිචිත්තය ඇතිවීම මළ සත්ත්වයා ගේ අලුත් භවයකට පැමිණීම ය. එයට මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය යි ද කියනු ලැබේ.

ප්‍රතිසන්ධිචිත්තය නිරුද්ධ වීමෙන් පසු විපාක දුන් කර්මයා ගේ ශක්තියේ සැටියට කෙටි කලක් හෝ දික් කලක් හෝ අනික් සිතක් නැත්තා වූ සැම අවස්්ථාවෙහි ම ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි ප්‍රතිසන්ධි චින්තයෙන් ගත් අරමුණ ම ගනිමින්, ප්‍රතින්ධි චිත්තයට සමාන සිතක් ප්‍රතිසන්ධිය ඇති කළ කර්මයා ගේ විපාක වශයෙන් නැවත උපදින්නේ ය. ඒ හේතුවෙන් ඔහු ගේ සිත් පරම්පරාව නො සිඳී පවත්නේ ය. සිත් පරම්පරාව සිඳී ගිය හොත් සත්ත්ව ජීවිතය කෙළවර වන්නේ ය. භවය එයින් කෙළවර වේ.

සිත් පරම්පරාව සිඳී ගොස් භවය කෙළවර වන්නට නොදී ආරක්‍ෂා කරන්නේ ඒ සිත ය. එබැවින් එයට ‘භවාංගචිත්තය’ යි කියනු ලැබේ. එය සත්ත්වයා ගේ ප්‍රකෘති සිත ය. මූල සිත ය. එබන්දක් ඇති බවක් අපට නො දැනේ. අපට නොයෙක් දේ දැන ගැනීමට උපකාර වන්නේ ඒ භවාංග චිත්තය ය.

දැකීමට උපකාරවන ඇසට, ඒ ඇස නො පෙනෙන්නාක් මෙන් දැනීමට හෙවත් නොයෙක් දේ දැන ගන්නා සිත් ඇතිවීමට උපකාර වන භවාංග චිත්තය ඇති බව සැලකිය යුතු ය. මෙය හොඳට ම තේරුම් ගත හැකි වීමට නම් අභිධර්මය හොඳින් උගත යුතු ය. මේ භවාංග චිත්තයත් ප්‍රතිසන්ධිය ගෙන දුන් කර්මයාගේ ම විපාකයෙකි. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින්නේත් උපන් භවය කලක් නො සිඳී පවත්නේත් යම්කිසි එක් කර්මයකින් බව දත යුතු ය.

කුශල කර්මයකින් උපන් තැනැත්තා හට ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ ජාතියේ දී බොහෝ වූ හෝ මඳ වූ හෝ සැප සම්පත් ඒ කර්මයෙන් ඇති කරනු ලැබේ. අකුශල කර්මයකින් උපන් සත්ත්වයා හට ද ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ කර්මයෙන් බොහෝ වූ මඳ වූ හෝ දුක් කරදර ඇති කරනු ලැබේ. ඇට බොහෝ ගණනක් එක්වී මහත් එක් ගසක් ඇති නො කරන්නාක් මෙන්, කර්ම බොහෝ ගණනක් එක්වී උත්පත්තියක් ඇති නො කෙරේ.

සැම කල්හි ම එක් භවයක උත්පත්තිය සිදු කරන්නේ එක් කර්මයකිනි. සියලු ම සත්ත්වයනට කුශල් වූ ද අකුශල් වූ ද බොහෝ අතීත කර්ම ඇත්තේ ය. කුශල වූ හෝ අකුශල වූ හෝ යම් කිසි එක් කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ භවයේ දී ඒ ඒ අවස්ථාවල දී ඔහු විසින් අතීතයෙහි කළ බොහෝ කුශලාකුශල කර්මවල විපාක ද ලැබෙන්නේ ය.

එක් කර්මයකින් උපන්නා වූ පුද්ගලයකුට ඔහු ගේ ජීවන කාලයේ දී තවත් කුශලාකුශල කර්මයන් ගේ විපාක ලැබෙන්නේ තවත් හේතූන් අනුව ය. වී ඇටයක තවත් වී ඇට ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ ය. එහෙත් වී ඇටයක් තවත් වී ඇට නමැති ඵල ඇති කිරීමට සමත් වන්නේ; උපකාරක හේතූන් ලැබීම ය, බාධක හේතුන් නො පැමිණීමය යන කරුණු දෙක අනුව ය. ජලය හා පෝර ඇති බිම, වී ඇටයකට ඵල ඇති කිරීමට උපකාර හේතු ය. අධික වර්ෂාව - නියඟ ආදිය වී ඇටයට බාධක හේතු ය.

ඵල ඇති කිරීම සඳහා වී ඇටයක ඇත්තා වූ බලය ඉතා සුළු ය. එබැවින් උපකාරක හේතු නො ලදහොත් එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලද ද, බාධක හේතුවක් පැමිණිය හොත් එකල්හි ද එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක සම්පූර්ණ වුව ද, කාලයෙහි මිස අකාලයෙහි ඵල ඇති කිරීමට ද සමත් නො වන්නේ ය. එමෙන් ඉතාම බලවත් කුශලාකුශල කර්මයන් හැර සාමාන්‍ය කුශලාකුශල කර්මයන් තම තමා ගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක අනුව ය.

ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුශල කර්මයන්හට තමන් ගේ විපාකය ඇති කිරීමෙහි උපකාරක හේතූහු වෙති. අකුශල කර්මයන් ගේ විපාක ඇති වීමට බාධක හේතූහු වෙති.

ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතූහුය. කුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතූහු ය.

‘ගති සම්පත්තිය’ යනු කුශල කර්ම බලයෙන් ලබන යහපත් ආත්මභාවය ය. මිනිසකු වීම හා දෙවියකු වීම ගති සම්පත්තිය ය. මිනිස්ව දෙවිව ඉපදීම් වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගතිසම්පත්තිය නිසා අතීතයෙහි කළ නොයෙක් කුශලයන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුශල කර්මයන් හට විපාක දීමට ඒ කාලයේ දී ඉඩ නොලැබෙන්නේ ය.

‘උපධි සම්පත්ති’ යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ ශෝභන ශරීරය ය. උපධි සම්පත්තිය ඇති කල්හි කුශල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය ගිය තැන දී සැලකිලි ලැබෙන්නේ ය. ඒ අවස්ථාවෙහි දී ඒ උපධි සම්පත්තිය නිසා අකුශල කර්මයන් හට විපාක දීමට අවකාශ නො ලැබේ.

‘කාල සම්පත්තිය’ යනු හොඳ ආණ්ඩුවක් ඇති, හොඳ මිනිසුන් ඇති, හොඳ ඍතු ගුණය ඇති, ධනධාන්‍ය සුලභ කාලය ය. එබඳු කාලයක උපන්නහුට ඒ කාල සම්පත්තිය නිසා දුබල වූ ද කුශල කර්මන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ කාලයේ දී අකුශල කර්මන් හට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

‘ප්‍රයෝග සම්පත්තිය’ යනු පව්කම්වලින් වැළකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුලබ වූ ද කුශල කර්මයන් ගේ විපාක ලැබෙන්නේ ය. පැවිද්දන්ට ගරුබුහුන් ලැබෙන්නේ, පූජාසත්කාර ලැබෙන්නේ ඒ අය ගේ අතීත කුශල් නිසා ය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නමැති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. දැහැමින් කල් යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ට ද නොයෙක් විට ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොයෙක් සැලකිලි ලැබෙන්නේ ය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුශල කර්ම විපාකයෝ ය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්හි ඒ නිසා ඇතැම් අකුශලයන්ට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

‘ගතිවිපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.

’උපධිවිපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා