මේ මොහොතේ නිහඬ අවධානය ඔබ සූදානම් ද?

මේ මොහොතේ නිහඬ අවධානය ඔබ සූදානම් ද?

මෙතෙක් දුරට මා පැහැදිලි කර සිිටියේ සිත අලවන නිහඬතාවය, නිසලතාවය සහ ගැඹුරු ප්‍රඥාන්විත අත්දැකීම්වලින් හෙබි, නිර්මල මනසක් ගොඩනඟා ගැනීම මේ භාවනාවේ පරමාර්ථය බවයි. සෑම භාවනාවකදී ම අඛණ්ඩ ව දිව යන්නා වු නූලක් සේ මතු වි පෙනෙන ශාරිරික හා මානසික බැඳීම්වලින් අත්මිදී ම අපගේ ප්‍රධාන කර්තව්‍යය වන බව තවදුරටත් පෙන්වා දී සිටියෙමි. දීර්ඝ කාලයක් තුළ නොකඩවා මේ මොහොතෙහි පහසුවෙන් රැඳී සිටීමට භාවනා යෝගියා හැකියාව අත්කර ගත් විට ඔහු පළමුවන අවධිය උදාකර ගෙන ඇත.

මා භාවනාවේ මුලික අවස්ථාව ලෙස හඳුන්වන මෙම තත්ත්වයට ළඟාවීම සඳහා පිළිපැදිය යුතු දේ ඉතා දීර්ඝ ලෙස අවසාන වශයෙන් විස්තර කර දුනිමි. එහි දී මා ප්‍රකාශ කළ ආකාර හි පමණක් එනම් මේ මොහොතෙහි රඳවා ගෙන සිටීම “මේ මොහොතෙහි” යථාවබෝධය ඉතා බලසම්පන්නය, තේජාන්විතය. මෙතැනට ළඟාවීම සඳහා අවශ්‍ය කටයුතු රාශියක් බව ඉටු කොට ඇත. භාවනාවේ ගැඹුරට යෑම වළකන මුල් බාධකයෙන් ඔබ අත්මිදී ඇත. මෙතරම් දුරට දස්කම් පෑමට ඔබ සමත් වූයේ නම් මනසේ මීටත් වඩා චමත්කාර වු සැබෑ නිහඬතාවය කරා ඔබ තවත් ඉදිරියට යා යුතුය.

සත්‍යයට විස්තරයක් අනවශ්‍යය

‘මේ මොහොතේ නිහඬ අවධානය’ සහ ‘ඒ පිළිබඳ ව සිතමින් සිටීම’ අතර වෙනස මෙතැන දී පැහැදිලි කර දීම ප්‍රයෝජනවත් ය. රූපවාහිනියේ පෙන්වන ක්‍රිකට් තරගයක් නැරඹීම උපමාවක් ලෙස ගෙන හැර දැක්වීමෙන් මෙය විස්තර කර දීම පහසුය. මෙවැනි තරගයක් නරඹද්දී ඇත්ත වශයෙන් ම කිවහොත් එතැන තරග දෙකක් එකවර පැවැත්වෙන බව ඔබට පෙනී යනු ඇත. තිරය මත නරඹන තරගය එකකි, තරග ප්‍රකාශකයාගේ විස්තරයත් සමඟ ඔබ නරඹන තරගය අනෙකකි.

තරග වැද සිටින්නේ ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියානු පිලවල් දෙක නම්, ලාංකික හෝ ඕස්ට්‍රේලියානු හෝ ප්‍රකාශකයෙකුගෙන් අසන්නට ලැබෙන විස්තරය බොහෝ විට ඇත්ත වශයෙන් ම සිදුවු දෙයට වඩා වෙනස් වීමට ඉඩ ඇත. තරග විස්තරය සෑම විට ම එක් පිලකට බරය. තිරය මත විස්තර ප්‍රකාශයක් රහිත ව කරන නැරඹීම මේ මොහොතේ නිහඬ අවධානය ලෙසත්, විස්තර ප්‍රකාශයට අවධානය යොමු කරමින් නැරඹීම ඒ පිළිබඳ ව සිතමින් සිටීම ලෙසත් මෙහිදී උපමා කර දක්වමි. සත්‍යතාවයට ඔබ වඩාත් සමීප වන්නේ අර්ථකථනයෙන් තොර ව තරගය නරඹන විටය. එලෙසින් ම මේ මොහොතේ අවධානය නිහඬව අත්විඳිනා විටය. මෙය ඔබ හොඳින් අවබෝධ කරගත යුතුය.

ඇතුළත කථාව අහිතකරය

සමහර විට දී අප මේ ලෝකය හඳුනාගෙන ඇතැයි සිතා සිටිනුයේ මනසෙහි මේ ඇතුළතින් කෙරෙන විස්තරය තුළිනි. නමුත් සත්‍ය වශයෙන් මනසෙහි එම අභ්‍යන්තර කථාව ලෝකය පිළිබඳ ව කිසිවක් නො දනී. දුක්වේදනාවලට මුල් වන මුලාව ගොතනුයේ එම අභ්‍යන්තර කථාවයි. අපේ විරුද්ධවාදීන් වෙත වෛරය දැක්වීමටත්, හදබැඳි සෙනෙහෙවතුන් සමඟ කඩ නොකළ හැකි ලෙස භයානක අන්දමින් තද බැඳීම් පැවැත්වීමටත් මුල් වනුයේ මෙම අභ්‍යන්තර කථාවයි.

ජීවිතයේ සෑම ප්‍රශ්නයකට ම මූලිකයා ද මෙම අභ්‍යන්තර කථාවයි. අභ්‍යන්තර කතාව බිය උපදවන අතර, එය සෑම විට ම ඔබේ නිදොස් බව ද තහවුරු කරයි. මෙම මුලාවන් මැවීමට අභ්‍යන්තර කථාව දක්වන නිපුණත්වය, රූපවාහිනි ප්‍රකාශකයකු සිය නරඹන්නන් වසඟයට ගෙන ඔවුන් තුළ ද්වේෂය හෝ ශෝකය හෝ ඇති කිරීමට දක්වන හැකියාවට සම කළ හැකිය. ඔබේ පරිශ්‍රමය යොමු ව ඇත්තේ සත්‍යය අවබෝධ කර ගැනීමට නම් නිහඬ අවධානයේ අගය වටහා ගෙන භාවනාවේ දී එය වෙන මොනයම් ආකාරයේ හෝ සිතිවිල්ලකට වඩා අතිශයින් ම වැදගත් බව තරයේ සිතට ගන්න.

සිතිවිලි නිස්සාරය

තමාගේ සිතිවිලි මහත් සේ අගය කිරීමට තමා දක්වන කැමැත්ත නිහඬ අවධානයේ මූලික බාධකයයි. දෙවන අවධිය, එනම් “මේ මොහොතේ නිහඬ අවධානය” වෙත එළඹීමට ඔබට ඉඩ සලසන්නේ තමාගේ සිතිවිලි ඇගයීමේ පුරුද්ද හෙමින් සීරුවෙන් අත්හැර දැම්මේත්, නිහඬ අවධානයේත් වටිනාකම අවබෝධ කර ගැනීමේ විදර්ශනා ඥානය හෙවත් ඇති තතු දැකීමේ නුවණයි.

සෑම මොහොතක් දෙස ම මහත් ඕනෑකමින්, ඉතා සමීපව බලා සිටින විට එම මොහොතෙහි සිදුවූ දේ විග්‍රහ කිරීමට කාලයක් කිසිසේත් ම ඔබ සතු ව නැත. මෙය සිත තුළ කෙරෙන කතාව නතර කිරීමට යොදා ගත හැකි සූක්ෂ්ම උපක්‍රමයකි. බොහෝ විට සිතිවිල්ලක් වනුයේ ඒ මොහොතෙහි සිදුවූ දේ ගැන තමා දක්වන මතයයි. උදාහරණයක් වශයෙන්, “එය හොඳයි”, “එය වැරදියි”, “මොකක් ද ඒ?” යනාදී සියල්ල ම මොහොතකට උඩ දී සිදුවී අභාවයට ගිය අත්දැකීම් පිළිබඳ තමාගේ විවේචනයි. ඔබේ සැලකිල්ලට භාජනය වූ අභාවයට ගිය අත්දැකීම් විවේචනය කරද්දී එම මොහොතේ ම ඔබ වෙත ළඟා වු අත්දැකීම පිළිබඳ ව කිසි හැඟීමක් ඔබ වෙත නැත. එය ඉවතලා ඇත. පරණ අමුත්තන් සමඟ කටයුතු කරන විට, දැන් ළඟා වන අලුත් අමුත්තන් ගැන ඔබ කිසි ම තැකීමක් නො කරයි.

සිතිවිලි සමඟ සංවාදය නතර කිරීම

සාදයක දී අමුත්තන් දොරෙන් ඇතුල් වු විට ඔවුන් පිළිගන්නා තැනැත්තා ඔබේ මනස යයි සිතන්න. එක් අමුත්තකු පිවිසි විට, ඔහු හා කථාවට වැටී, අර දේ මේ දේ ගැන දොඩමළු ව සිටිය හොත්, ඔබ දොරෙන් ඇතුළු වන අනෙකුත් අමුත්තන් පිළිගැනීමක් නොකරන හෙයින්, ඔබේ යුතුකම පැහැර හැර ඇත. සෑම මොහොතක ම අමුත්තන් දොරෙන් ඇතුල් වන බැවින් ඔබට කළ හැකි එක ම දෙය එක් අමුත්තකු පිළිගෙන, හැකි ඉක්මනින් ඊළඟ අමුත්තා පිළිගැනීමය. කිසි ම අමුත්තකු සමඟ ඉතා කෙටි සංවාදයක්වත් පැවැත්විය නොහැක්කේ දොරෙන් ඇතුල් වන ඊළඟ අමුත්තා ඔබට මඟහැරෙන බැවිනි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ගේ දොරින් පිවිසෙන සෑම අත්දැකීමක් ම මනසට ඇතුල් වන්නේ එකකට පසු එකක් යන අනුපිළිවෙළිනි.

ඔබේ සිහිකල්පනාව මින් එක් අත්දැකීමක් පිළිගෙන එය හා සතුටු සාමිචියේ යෙදුන හොත් ඒ පිටුපසින් ම පැමිණෙන ඊළඟ අත්දැකීම ඔබට මඟහැරෙනු ඇත. සෑම සිදුවීමක් ම අත්විඳිමින්, සම්පූර්ණ වශයෙන් ම ඔබ මේ මොහොතේ ගිලී, මනස වෙත පැමිණෙන කිසි ම අමුත්තකු මඟ නොහරින්නේ නම්, අභ්‍යන්තර කථාව සඳහා ඔබට කිසි ම ඉඩක් නොමැත. ඔබට, ඔබ හා සතුටු සාමීචි කථාවක යෙදිය නොහැකි නම් මනසට ඇතුල් වන සෑම දෙයක් ම එම මොහොතෙහි දී ම සිහිකල්පනාවෙන් යුතු ව පිළිගැනීමෙහි ඔබ සම්පූර්ණයෙන් ම නිරතව ඇත. එසේ නම්, “මේ මොහොතෙහි අවධානය” ඔබ දැන් පිරිපහදු කරගෙන ඇත්තේ සෑම මොහොතක දී ම එය ‘එම මොහොතේ නිහඬ අවධානය’ වන පරිදිය.

මෙම මට්ටමට ඇතුළත නිහඬතාවය දියුණු වූ විට ඉතා විශාල බරකින් මිදුණු ලෙස ඔබට හැඟෙනු ඇත. මෙය අවුරුදු හතළිහක, පනහක කාලයක් තිස්සේ බර ගෝනියක් පිටේ එල්ලා ගෙන, එම කාලය මුළුල්ලේ ම නො නැවතී සැතපුම් බොහෝ ගණනක් ඉතා වෙහෙස මහන්සියෙන් එය ගෙන ගියා හා සමානය. එම ගෝනිය පිටෙන් වුණා, සුළු කාලයකට හෝ බිමින් තැබීමට ඔබට අවශ්‍ය ධෛර්්‍යය හා ප්‍රඥාව ලැබිණ. අභ්‍යන්තර කථාව නමැති බර ගෝනියෙන් මිදීමත් සමඟ ම තමා විඳින්නා වු සැනසුම, සැහැල්ලුව සහ නිදහස අතිමහත් බව ඔබට වැටහෙනු ඇත.

අතරමැද නිහඬතාවය

සිතිවිලි අතරමැද පවතින නිහඬතාවය සහ අභ්‍යන්තර කථාවන් අතරමැද පවතින නිහඬතාවය දැන හඳුනා ගැනීම නිහඬ අවධානය දියුණු කර ගැනීමේ තවත් වැදගත් ක්‍රමයකි. එක් සිතිවිල්ලක් අවසාන වී, ඊළඟ සිතිවිල්ලේ ආරම්භය දෙස ඉතා සමීප ව ඉතා තියුණු සිහිකල්පනාවකින් බලා සිටින්නේ නම්, එතැන ඇති පරතරය, හිඩැස ඔබේ අවධධානයට හසු වේ. අන්න එයයි, “නිහඬ අවධානය” පටන් ගැනීමේ දී එය ඉතාමත් සුළු මොහොතකට සීමා වන නමුත්, ඉක්මනින් අතුරුදහන් වී යන්නා වු එම නිහඬතාවය හඳුනා ගත් විට ඔබ එයට හුරු වනු ඇත. එම හුරුවීමත් සමඟ ම එය දිගු කාලයක් තුළ පවතිනු ඇත. කෙසේ හෝ ඔබ නිහඬතාවය සොයාගෙන එහි රස විඳීමට පටන් ගත් විට එහි වැඩීම සිදුවේ. නමුත් නිහඬතාවය ඉතාමත් කුලෑටි බව සිහියට ගන්න. ඔබ ඇය ගැන කථා කරන බව නිහඬතාවයට ඇසුන හොත් ඇය එම මොහොතෙහි ම අතුරුදහන් වන්නීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා