කණාමැදිරියාගේ බැබලීම හිරු උදාවන තුරු පමණය

කණාමැදිරියාගේ බැබලීම හිරු උදාවන තුරු පමණය

එක්තරා වෙළඳ කණ්ඩායමක් වෙළඳාම සඳහා බාවේරු රටට යද්දී කපුටකුද රැගෙන ගියහ. එරට පක්ෂීන්ගේ විසීමක් නොවීය. කිසිදාක පක්ෂියකු නොදුටු එරට වැස්සෝ කපුටා දැකීමෙන් පුදුමයට පත්වූහ. දෙපයින් ඇවිදීමටත්, අහසින් පියාඹා යන්නටත් හැකිවීම ඒ සතාගේ මහා භාග්‍යයක් සේ ඔවුහු සැලකූහ. ඒ නිසා කපුටා ලබා ගැනීමේ උනන්දුවක් ඔවුන් තුළ ඇතිවිය. තමාට ඒ පක්ෂියා දෙන්නැයි මිනිස්සු වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියහ.

ඌ දෙන්න බැරියයි වෙළෙන්දෝ කීහ. නොමිලේ ඌ ලබාගන්න දැරූ උත්සාහය ව්‍යර්ථවීමෙන් පසු මුදලට ගන්න ඉදිරිපත් වූහ. වෙළෙන්දෝ ඊටද එකඟ නොවූහ. මේ නිසා ගෙවන්න බලාපොරොත්තුවන මුදලද ක්‍රමක්‍රමයෙන් වැඩිවිය. පැය කීපයක් මෙසේ කපුටා ලබාගැනීමට උත්සාහ දැරීමෙන් පසු මසුරන් දහසකට ඌ දෙන්නැයි අයෙක් ඉල්ලා සිටියහ. ඒ මිලට කපුටා විකිණීමෙන් තමන්ට ලොකු පාඩුවක් වෙතියි ව්‍යාජ ලෙස ඇඟවූ වෙළෙන්දෝ, අවසානයේ ඒ මුදලට කපුටා විකුණූහ.

කපුටා මිලට ගත් අය රනින් කූඩුවක් තනවා ඌ ඒ තුළ රඳවා විවිධ ආහාර පානවලින් ඌට සංග්‍රහ කළහ. රටේ විවිධ ගම් – දනවුවල සිට ඌ දැක ගැනීමට මහජනයා පැමිණියහ.

ඊළඟ වාරයේ ඒ වෙළඳුන් විසින් එරටට මොණරෙක් ගෙනයන ලදී. මොණරාගේ හඬ ඇසීමෙන්ද නැටුම් දැකීමෙන්ද බාවේරු රටවැස්සෝ පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. මෙවැනි දැකුම්කළු පක්ෂියකු ඉන් පෙර තමන් සිහිනෙනුදු දැක නොතිබිණැයි ඔවුන්ට සිතිණි. ඌ තම රටේ රඳවා ගැනීමට ඇත්නම් කොතරම් හොඳදැයි ඔවුහු කල්පනා කළහ. “අපට මෙ පක්ෂියා දෙන්න”යි ඔවුහු වෙළඳුන්ට කීහ. වෙළෙන්දෝ ඊට වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. මොණරා ගැන ආරංචිය පැතිරීම නිසා සෙනග වැල නොකැඩී එන්නට විය. ඒ නිසා වෙළඳාමද වෙන වාර වලට වඩා සරුවිය. ඒ සමඟම මොණරා තමන්ට දෙන ලෙස කරන ඉල්ලීමද වැඩිවිය. “මේ රටට කවදාවත් පක්ෂියකු නම් ගේන්න හොඳ නෑ. ගෙනාවොත් බේරෙන්න බෑ. පහුගිය වතාවෙ ගෙනාපු කපුටත් ගත්තා. දැන් මූත් ඉල්ලනවා”යි වෙළෙන්දෝ කීහ.

“අපේ රටේ නැති නිසානෙ ඉල්ලන්නෙ. ඔය ගොල්ලන්ට තව එකකු සොයාගන්න පුළුවන්. මසුරන් දාහක් අරගෙන ඔය පක්ෂියා අපට දෙන්න”යි ඔවුහු නැවතත් කියා සිටියහ. වෙළඳාමෙන් හොඳ ලාභයක් ලැබෙන රටක පාරිභෝගික ජනයා හා මිත්‍රත්වය රැකගැනීමේ අවශ්‍යතාව තේරුම්ගත් වෙළෙන්දෝ මසුරන් දහසකට මොණරා විකුණූහ.

මොණරා ලැබීමෙන් මහත් පී‍්‍රතියට පත් ඔවුහු කපුටා රඳවා උන් රන් කූඩුවෙන් ඌ ඉවත්කර මොණරා එහි රඳවන ලදී. මස්, මාංශ ආදි නොයෙක් ආහාර වර්ගද ඌට සැපයිනි. එතැන් සිට කපුටාට කිසිවකුගේ සැලකිල්ලක් නැත. ඌ කසල ගොඩවල් අවුස්සමින් තම ආහාර තමන්ම සපයා ගත්තේය.

“අධමයා බැබලෙන්නේ උත්තමයා පැමිණෙන තුරුය”යි මේ දුටු සමහරු කීහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා