ප්‍රේතයෙක්ව උපන් මහණෙක්

ප්‍රේතයෙක්ව උපන් මහණෙක්

දිනක් ලක්ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;

“ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”

යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්ඛණ තෙරණුවෝ;

“ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

“ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි

මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;

“මහණෙනි, මාගේ ශ්‍රාවකයන් ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”

ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.

අතීතයෙහි කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි තෙරුන් වහන්සේලා දෙනමක් එක්ව එක්තරා ගමක වාසය කළහ. එක් නමක් වයසින් වැඩිමහල් බැවින් අනෙක් තෙරණුවන් උන්වහන්සේට උපස්ථාන කරමින් කල් ගත කළහ. මේ අතර දිනක් උන්වහන්සේලා වාසය කරන තැනට ධර්ම කථික ආගන්තුක තෙර කෙනෙක් පැමිණ උන්වහන්සේලා සමඟ වෙහෙරෙහි වාසය කරන්නට විය. ආගන්තුක තෙරුන් වහන්සේ ද දිනක්;

“මේ ආවාසයෙහි වාසය කරන තෙරුන් වහන්සේලා ඉතා මොළොක්ය. මා කෙරෙහි මිනිසුන්ගේ ප්‍රසාදය ද ඇති බැවින් මුන් වහන්සේලා දෙනම පලවා හැර මෙතැන අල්ලා ගත යුත්තේය.”

යනුවෙන් සිතා මහලු තෙරුන් වහන්සේ වෙත ගොස් කපටි සිතින් බාල තෙරණුවන් ගැන කේලාම් කීය. බාල තෙරණුවන් කෙරෙහි විශ්වාසය බිෙඳන පරිද්දෙන් මහලු තෙරුන් අමතා;

“ස්වාමීනි, ඒ බාල තෙරණුවන් මා මෙහි පැමිණි දින ඔබ වහන්සේගේ අගුණම මා වෙත ප්‍රකාශ කළේය. ඔබ වහන්සේ හා එක්ව ඇසුරු කරන්නේ නම් සිහි නුවණින් යුතුවම මනා පරීක්‍ෂාවෙන් ම කරන්නැයි මට නිතරම කියන්නේය. එනිසා ඔබ වහන්සේගෙන් ගැහැටක් නොවන ලෙසට වැඩ කරන්නට ප්‍රවේසම් වන්නැයි” කීය.

ආදී වශයෙන් බාල තෙරණුවන්ගේ අගුණ කියා පෑ විට එය විශ්වාස කළ වැඩිමහල් තෙරණුවෝ බාල තෙරණුවන් කෙරෙහි කළ කිරීමට පත් වූහ. බාල තෙරණුවන් වෙතට ද ගිය ධම්ම කථික තෙරණුවෝ මේ අයුරින් ම ප්‍රකාශ කළ කල්හි බාල තෙරණුවෝ ද වැඩිමහල් තෙරණුවන් කෙරෙහි කළ කිරීමට පත් වූහ.මෙතෙක් ඔවුන් දෙදෙනා අතර පැවති සමඟිය බිඳ වැටුණි.

දිනක් බාල තෙරණුවන් පිඩු සිඟා ගොස් සැම දෙනාටම පළමුව විහාරයට පැමිණ සිටි කල්හි වැඩිමහල් තෙරණුවන් එනු දැක උන්වහන්සේගේ පා සිවුරු පිළිගැනීමට ගිය කල්හි;

“ඇවැත්නි, තොප සිතන්නේ මේ වෙහෙරෙහි මාගේ ඇල්මක්, ආශාවක් ඇතැයි සිතා ද? මෙතැන් සිට තොප හා වාසය කිරීමක් මාගේ නැත්තේයැ”යි කීය.

එවිට බාල තෙරණුවන් ද;

“ස්වාමීනි, මා මේ වෙහෙර අත්පත් කොට ගෙන මෙහි රැදී සිිටිනු ඇත යන්න ඔබ වහන්සේගේ අදහස වන්නේ ය. එහෙත් මා තුළ එබඳු පවිටු අදහසක් නොමැත්තේ ය. මම පැවිදි වූයේ විහාර පන්සල් ගොඩ නගා ගෙන දායකයන්ගේ සිත් සතුටු කර ඔවුන් මා වෙත තබා ගෙන, ගෝල බාලයන් හදාගෙන, මුදල් රැස් කරමින්, පවුල් ආරක්ෂා කරමින්, වෙළහෙළදාම් ආදිය කරමින් මහණ කමට නො සරිලන සේ ජීවත් වන්නට නොවෙමි. මෙන්න ඔබ වහන්සේගේ වෙහෙර ඔබ වහන්සේ ම බාර ගනුව.”

ආදී වශයෙන් කියා පා සිවුරු ගෙන නික්ම ගියහ. වැඩිමහල් තෙරණුවෝ ද පා සිවුරු ගෙන විහාරයෙන් පිටත් විය. මෙසේ නික්ම යන දෙදෙන දුටු ධම්ම කථික තෙරණුවෝ

“ස්වාමීනි, මෙසේ නොකරනු මැනව, මෙසේ නොකරනු මැනව“යි

බොරුවට පෙරැත්ත කළේ ය. එහෙත් ඒ දෙනම නො නැවතීම වෙනත් ප්‍රදේශයකට වැඩම කළහ. පසු දින ධම්ම කථික තෙරුන් පිඬු සිඟා ගිය කල්හි අනෙකුත් තෙරුන් වහන්සේලා පිළිබඳව දායකයන් විමසූ කල්හි;

“උපාසකයෙනි, ඒ දෙනම උන් උන් කෝලාහල කොට නො වඩිනු මැනවැයි මා විසින් පවසද්දී ම පා සිවුරු රැගෙන පන්සල හැරදමා ගියේයැ”යි

ප්‍රකාශ කළේය. මෙසේ කල් ගත වත්ම වැඩි මහලු තෙරුන් හා බාල තෙරණුවන් හමු වී ඔවුනොවුන්ගෙන් සිදු වූ අතපසු වීමත් අනුන් කියන බස් විශ්වාස කොට සිදු වූ පාඩුවත් තේරුම් ගෙන සමගිව නැවත පෙර වාසය කළ විහාරස්ථානයට වැඩම කොට ධම්ම කථික තෙරුන් නෙරපා දමා පෙර පරිද්දෙන් ම වාසය කළහ.

ධම්ම කථික තෙරුන් වහන්සේ ද වෙනත් ප්‍රදේශයකට ගොස් ජීවිතාවසානය තෙක් මහණදම් පිරුව ද ඔහු අපායෙහි නොහෙලා රඳවා ගන්නට එය ප්‍රමාණවත් නොවීය. එබැවින් උන්වහන්සේ ආයු කෙළවර කලුරිය කොට කරන ලද අකුසල කර්මය හේතුවෙන් අවීචි මහා නරකයෙහි උපත ලබා බුද්ධාන්තරයක් දුක් විඳ දැන් මේ ගිජ්ජකුට පර්වතය පාමුල ප්‍රේතයෙක්ව ඉපිද දුක් විඳින්නේයැ යි බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දී දහම් දෙසූ සේක.

ආදර්ශය -

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේත ව විඳි ගැහැට
පිසුණු බසක් නො කියවු අද පටන් කොට

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා