ශ්‍රී ලංකා කණ්ඩායමට ශෙනාල් ඩයස් යළි එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමට ශෙනාල් ඩයස් යළි එක්වෙයි

නායකත්වය ෆසීල් මරිජාට

සිංගප්පූරු සෙවන්ස් රගර් තරගාවලිය‍ට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ නම් කරනු ලැබීය. 12දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ නායකත්වයට නැවතත් ෆසීල් මරිජා පත්කොට ඇත. ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ ෂැංහායි සහ මුම්බායි සෙවන්ස් තරගාවලියේ දී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය දරනු ලැබුවේ ද මරිජා විසිනි.

අධ්‍යාපන කටයුතු හේතුවෙන් පසුගිය මුම්බායි සෙවන්ස් තරගාවලියට සහභාගි නොවූ ශෙනාල් ඩයස් යළි කණ්ඩායමට ඇතුළත් වී සිටින අතර මිතුන් හපුගොඩගේට තම ස්ථානය අහිමිවී ති‍‍බේ. මෙරට සත් සාමාජික රගර් පිටි‍යේ ප්‍රබලතම ක්‍රීඩකයකු වන ශෙනාල් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

ශෙනාල් ඩයස්

ලබන වසරේ දී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශූරතා සත් සාමාජික රගර් තරගාවලියට ආසියාව නියෝජනය කරන රටවල් තෝරාගැනීමේ තීරණාත්මක සිංගප්පූරු සෙවන්ස් රගර් තරගාවලිය ලබන මස 2 සහ 3 දෙදින සිංගප්පූරුවේ දී පැවැත්වේ.

මේ වනවිට ආසියානු සත් සාමාජික රගර් ශ්‍රේණිගත කිරීම්වල 5වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රබල ජපානය සහ ආසියානු සත් සාමාජික රගර් පිටියට මෑතකදී එක්වූ ඉන්දුනීසියාව 'ඩී' කාණ්ඩයෙන් තරග වදියි. මෙවර තරගාවලියට ආසියාවේ ප්‍රබලතම රටවල් 12ක් එක්වී සිටින අතර ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගත හැකිවන්නේ පළමු කණ්ඩායම් 3ට පමණි.

ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ පසුවන හොංකොං පිල සහ ජපානයට ඒ සඳහා සුදුසුකම් ලැබී ඇති අතර ‍ලෝක ශූරතාවලියට ආසියාවෙන් එක්වෙන අනික් කණ්ඩායම බවට පත්වීමට චීනය, දකුණු ‍කොරියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය, තායිලන්තය සහ මැලේසියාව අතර ප්‍රබල සටනක් ඇතිවනු නිසැකය. වත්මන් ශ්‍රේණිගතකිරීම්වල චීනය තුන්වැනි ස්ථානයේ පසුවන අතර පිලිපීනය 6වැනි තැනත්, තායිලන්තය 7වැනි ස්ථානයේත්, මැලේසියාව 8වැනි ස්ථානයේත් පසුවේ.

හොං‍කොං, පිලිපීනය සහ ගුවාම් රාජ්‍යය මේ තරගාවලියේ දී 'ඒ'කාණ්ඩයෙන් තරග වදින අතර 'බී'කාණ්ඩයට දකුණු කොරියාව, තායිලන්තය සහ සිංගප්පූරුව ඇතුළත් වී සිටිති. චීනය,මැලේසියාව සහ කසකස්තානය 'සී'කාණ්ඩය යටතේ තරග වදිති.

ශ්‍රී ලංකා සංචිතය – ෆසීල් මරිජා (නායක), දිලිප් සෙල්වම්, නයිජල් රත්වත්තේ, චූල සුසන්ත, ශෙනාල් ඩයස්, සජිත් සාරංග, සයුරු ඇන්තනී, දිනූෂ චතුරංග, විශ්වමිත්‍ර ජයසිංහ, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සාලිය කුමාර සහ සාලිය හඳපාන්ගොඩ -බෙන් ගොලින්ස් (පුහුණුකරු), කර්නල් මොහාන් රත්නායක (කළමනාකරු), අමිත් ජයසේකර (භෞතචිකිත්සක)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා