වෙළෙඳසේවා බැඩ්මින්ටන් සමස්ත ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට

වෙළෙඳසේවා බැඩ්මින්ටන් සමස්ත ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට

ශූරයා නිලූක : ශූරිය චන්ද්‍රිකා

වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය 29වැනි වරටත් මෙහෙයවනු ලබන ‘ලී නින්’ වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය.

ගල්කිස්ස සාන්ත ‍තෝමස් විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ දී පිරිමි සහ කාන්තා ඒකල සහ යුගල අනුශූරතා සමග මිශ්‍ර යුගල ශූරතාව අත්කර ගැනීමට හැටන් නැෂනල් බැංකු පිලට හැකිවිය.

මේ තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනාගනු ලැබුවේ ජාතික බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විසිනි. කාන්තා ඒකල ශූරතාව හිමිවූයේ සෙලාන් බැංකුව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වාටය.

සමස්ත ශූරතාව දිනූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම.

පිරිමි ඒකල අවසන් තරගයෙන් මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය නියෝජනය කළ නිලූකට පරාජය වූ ඔහුගේම සොයුරු හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ දිනූක කරුණාරත්න අනුශූරතාව දිනාගත් අතර කාන්තා ඒකල අවසන් තරගයේදී චන්ද්‍රිකාට පරාජය වෙමින් අනුශූරිය වූයේ හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ නදීෂා ගයාත්‍රිය.

එම කණ්ඩායමේ දිනූක කරුණාරත්න සහ නදීෂා ගයාත්‍රී මිශ්‍ර යුගල ශූරතාව අත්කරගත්හ. අනුශූරතාව හිමිවූයේ සම්පත් බැංකුවේ තිළිණි ජයසිංහ සහ හසිත් චානකටය. පිරිමි යුගල ශූරතාව දිනාගනු ලැබුවේ නිලූක කරුණාරත්න සහ ලක්ෂාන් සිල්වාය.

අනුශූරතාව දිනූක කරුණාරත්න සහ ඉමික එදිරිසූරියට හිමිවිය. එහි කාන්තා ශූරතාව චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි පරණවිතාන (සෙලාන් බැංකුව) දිනාගත් අතර අනුශූරතාව නදීෂා ගයාත්‍රී සහ මධූෂා දිසානායක (හැටන් නැෂනල් බැංකුව) දිනාගත්හ.

කාන්තා පළඟ ශූරතාව තිළිණි ගුණතිලක (නේෂන්ස් ට්‍රස්ට් බැංකුව) දිනාගත් අතර අනුශූරතාව එම කණ්ඩායමේ ම උපේක්ෂා ‍‍ෆොන්සේකාට හිමිවිය. පළඟ පිරිමි ශුරතාව දිනාගනු ලැබුවේ ප්‍රභාත් ඉන්ද්‍රජිත් ( ජාතික සංවර්ධන බැංකුව) විසිනි. එහි අනුශුරතාව තිමිර බෙන්තොටගේ (සෙලාන් බැංකුව) දිනාගත්තේය.

පිරිමි ඒකල සහ යුගල, කාන්තා ඒකල සහ යුගල, මිශ්‍ර යුගල, අවුරුදු 40න් ඉහළ පිරිමි ඒකල සහ යුගල, අවුරුදු 35න් ඉහළ කාන්තා ඒකල සහ යුගල,අවුරුදු 50න් ඉහළ ප්‍රවීණයන් සඳහා වෙන්වූ ඒකල සහ යුගල, පිරිමි සහ කාන්තා පළඟ ශූරතා ආදි තරග ඉසව් 13ක් මෙවර තරගාවලියට ඇතුළත් වූ අතර වෙළෙඳ ආයතන 49ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 275ක් සහ ක්‍රීඩිකාවෝ 75ක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා