‘සුපසන් නිම්තෙර’ යටතේ ගම්පහ පාසල් ගොඩනැඟිලි දෙකක් කල එළිවේ

‘සුපසන් නිම්තෙර’ යටතේ ගම්පහ පාසල් ගොඩනැඟිලි දෙකක් කල එළිවේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වසර දෙකක කාලයක් පුරාවට වසා දමා තිබූ පාසල් ගොඩනැඟිලි දෙකක් “සුපසන් නිම්තෙර” වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කර යළි සිසු අයිතියට පැවරීම ප්‍රධාන ඇමැති හා අධ්‍යාපන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදුවිය.

මිනුවන්ගොඩ ගනේමුල්ල ප්‍රාථමික විදුහලේ සහ නැදගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටි මේ පාසැල් ගොඩනැඟිලි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රුපියල් ලක්‍ෂ 82 කට වැඩි වියදමින් ප්‍රතිසංස්කරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ උත්සවයට සහභාගි වූහ.

ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ කීය.

සියලුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ක්‍රියා කරන ජනාධිපතිතුමා සෑම බදාදා දිනයකදීම අරලියගහ මන්දිරයේදී පාසල් දරුවන් හමුවී ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා පසුගිය අයවැයෙන් ඔවුන්ට සපත්තු කුට්ටමක් හා අමතර නිල ඇඳුම් කට්ටලයක් සඳහා මුදල් වෙන්කර ඒවා ලැබෙන්නට සැලැස්සුවා.

බස්නාහිර පළාත් සභාව එතුමාගේ අරමුණු ඉදිරියට ගෙනයනවා. එදා සුදු අලියෙක් කී පළාත් සභාව අද විශාල වැඩකොටසක් ඉටුකර ජනතා ප්‍රසාදයට පත්ව සිටිනවා. පළාත් සභා මාර්ග පද්ධතියෙන් සියයට හැත්තෑවක් කාපට් කර අවසානයි.

පාසලේ වඩාත් ප්‍රසන්න වූ පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පළාත් සභා ප්‍රතිපාදන ඉවත්කර ඇති අතර ශ්‍රමදායකත්වයෙන් එය වඩාත් ඵලදායි කිරීමට මගපෙන්වීම පළාත් සභාව සිදුකර තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා