බෝම්බුවල ඇළ මාර්ග ගොඩ වෙලා

බෝම්බුවල ඇළ මාර්ග ගොඩ වෙලා

ගංවතුරින් නිරතුරු පීඩා

කළුගං තොටින් මහ මුහුදට ගලා බස්නා කළු ගඟ ආශ්‍රිත තෙබුවන - කෙත්හේන - බෝම්බුවල - සේරුපිට - ගමගොඩ - කොහොලාන ප්‍රදේශ වසරකට කිහිප වරක් ගංවතුර ආපදාවන්ට ලක්වන ප්‍රදේශ වේ. බෝම්බුවල ප්‍රදේශයෙන් ආරම්භ වන ‘බකිණි ඇළ” පසුව “නිකටු ඇළ” දක්වා දීර්ඝව විහිද ගොස් කොහොලානේදී කළු ගඟට එකතු වෙයි.

ප්‍රධාන ඇළ මාර්ගය (නිකටු ඇළ) ගොඩ වී වල්බිහි වී ඇති අයුරු.
ඡායාරූපය – මතුගම මධ්‍යම

එහෙත් මේ වන විට සියලු ඇළ මාර්ග වල් හබරල ආදී ගස් වැවී වල් බිහිවී ඉවුරු කැඩී බිඳී ගොස් පස්වලින් ගොඩවී ජලය පහළට බැස යෑම ඇනහිට ඇති බව පෙනේ.

කඳු රට ප්‍රදේශයේ ඇදහැලෙන වර්ෂාව මත ඒ ඒ කාලයට ඉතා ශීඝ්‍රව කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ මෙම ප්‍රදේශ කරා ගෙඟන් වතුර පිටාර ගලා යන අතර එසේ එක්රැස් වන ජල කඳ පවතින ඇළ මාර්ග වල්බිහිව ගොඩවී ඇති බැවින් නැවත ගඟට බැස යාම අඩපණව පවතින බව බොහෝ දෙනා පෙන්වා දෙති.

දිසා ප්‍රජා සංවර්ධන සංවිධානයේ උප සභාපති හා කොහොලාන ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් නන්ද කුමාර දිසානායක මහතා - මේ සම්බන්ධව වැඩිපුර වශයෙන්ම බලපවත්නා කොහොලාන ප්‍රදේශයේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක පදිංචිව සිටින පවුල් 50කට පමණ ඉතාම තදබලව හානි සිදු වනවා.

ඒ අයගේ කුඹුුරු වගාවන් පමණක් නොව සරුසාරවත් ගොඩබිම් වගාවන් ද විනාශ වෙනවා. නිසි වාරිමාර්ග වැඩපිළිවෙළක් මත ප්‍රතිසංස්කරණය කර දෙන්නේ නම් එයින් කලින් කලට ගංවතුරෙන් පීඩාවට පත්වන්නාවූ බහුතරයක් ජනතාවට නිසි සහනයක් ලැබේවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා