උතුවන්කන්දේ ආයුධ ගබඩාවක්

උතුවන්කන්දේ ආයුධ ගබඩාවක්

* සැකකරු බද්දගානේ සංජීවගේ ගෝලයෙක්

පොලිසිය සැකකරුගේ නිවසට පැන අවි රැසක් සොයා ගනී

මාවනැල්ල උතුවන්කන්දේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් ගිනි අවි අපරාධයක් සඳහා රැස්කරමින් සිටි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මේ ආයුධ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධකරුවකු වූ බැද්දගානේ සංජීව නම් අය සමඟ ළඟින් ඇසුරු කළ අයෙකු බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර ඔහුගේ නිවස පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (14) දිනයේදී ද ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ රැසක් ද, ජීව අත්බෝම්බයක් ද, බෝර 12 තුවක්කු සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 3 ක් ද සොයාගෙන තිබුණි.

රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 12 දා රාත්‍රී 11.00 ට පමණ මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මේ සැකකරු ළඟ බෝර 12 ගිනි අවියක්, බෝම්බ පිපිරවීමට ගන්නා විද්‍යුත් ඩෙටනේටර් 03 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 250 ක්, මිලිමීටර් 9 පතරොම් 6 ක් සහ පෑනක හැඩය ගත් කුඩා රිවෝල්වර 03 ක් ද, තිබුණු බව ද පැවසේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාධිනායක නියෝජ්‍ය පොලිස්පති රණවන මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්‍ෂක නාලක ද සිල්වා මහතා ප්‍රධාන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මේ සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ හා අධිකරණ කටයුතු මාවනැල්ල පොලිසියට භාර දී තිබුණි.

පිංදෙනිය පොලිස් වසමේ හරිගල, ලාහුපන කම්මල්කොටුවේ පදිංචිව සිටි නම් 52 හැවිරිදි මෙම සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත්තුමා ඉදිරියට 14 දා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා