ගල් කුට්ටියකට යටවී කම්කරුවන් දෙදෙනකු මිය ගිය ගල් කැඩීමේ ස්ථානය අනාරක්ෂිතයි

ගල් කුට්ටියකට යටවී කම්කරුවන් දෙදෙනකු මිය ගිය

ගල් කැඩීමේ ස්ථානය අනාරක්ෂිතයි

හංවැල්ල පහත්ගම බදුවත්ත ප්‍රදේශයේ ගල්වළක ගල් කඩමින් සිටි කම්කරුවන් දෙදෙනකු විශාල ගල් කුට්ටියකට යටවී එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ 12 දින, මියගොස් ඇත්තේ දුරෙක්කන්ද, මල්ලව, රත්නපුර පදිංචි ගොඩගෙදර ආරච්චිලාගේ සුමිත් නිශාන්ත නැමැති 26 හැවිරිදි සහ ගොඩිගමුව ගෝනපල හංදියේ පදිංචි 37 හැවිරිදි සන්දරදුරගේ චද්‍රදාස සිල්වාය.

එදින මොවුන් දෙදෙනා කඹයක එල්ලී ගල් පර්වතය මැද කොටසේ කොම්පෙෂර් යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් බෝරවළවල සකසමින් සිට ඇත. කොම්පෙෂර් යන්ත්‍රයේ කම්පනයට ඉහළින් තිබූ ගල් කුට්ටියක් ගැලවී මොවුන් දෙදෙනාද සමඟින් පොළවට වැටී තිබේ.

මියගිය අයගේ මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂනය පී. ඒ. ඩී. නන්දසේන පන්නිපිටිය මහතා විසින් සිදුකරන ලදී. මිය ගිය සුමිත් නිශාන්තගේ බිරිඳ වන පල්ලියගොඩ ආරච්චිගේ අනූෂා දමයන්ති සහ එම ගල්වැඩපලේ සේවකයෙකු වන ඉහළ තන්තිරිගේ දොන් පුෂ්පකුමාර යන අය සාක්ෂි ලබාදුන්හ.

මේ ගල්කැඩීමේ ස්ථානය ඉතා අනාරක්ෂිතය. මෙහිදී මීට ටික කලකට ඉහතදීම මෙවැනිම සිද්ධියක් සිදුවී එක් කම්කරුවෙකු මිය ගිය බව ප්‍රදේශවාසීහු පවසති. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ජීවිත ආරක්ෂාකර ගැනීමට කිසියම් පියවරක් ගත යුතුව ඇති බවද ඔව්හු පවසති.

හංවැල්ල පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පො. ප. විජේසුන්දර මහතාගේ මෙහෙයවීම මත පො. ප. අනුර, පො. සැ. රත්නායක (6810) වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා