පිතිකරුවන්ගේ රජදහනේ තරගය ජය පැරදුමක් නෑ

පිතිකරුවන්ගේ රජදහනේ තරගය ජය පැරදුමක් නෑ

පිතිකරුවන්ගේ රජදහනක් බවට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමින් තොරව ඊයේ කෙළවර විය. ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 335ක් රැස්කර ගෙන සිය දෙවැනි ඉනිම නතර කර ජයග්‍රහණය සඳහා ඕවර 37කින් ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් බංග්ලාදේශයට ලබා දුන්නේය.

එහෙත් එම අභියෝගය බාර නොගෙන ඔවුන් තරගයේ ජය පැරදුමින් තොර නිමාවක් කරා ගිය බැවින් ඕවර 22ක් යැවීමෙන් අනතුරුව පස්වරු 4.05 ට තරගය අවසන් කෙරිණි. ඒ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ එක් කඩුල්ලක් ලකුණු 70කට බිඳ වැටී තිබිණි.

ජහුරුල් ඉස්ලාම් හතරේ පහර 5ක් හා හයේ පහරක් සමග නොදැවී ලකුණු 41ක්ද, මොහමඩ් අෂ්රෆුල් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22ක්ද ලබා ගෙන සිටියහ. බංග්ලාදේශයේ ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකලාභියා බවට පත්වූ නායක මුෂ්ෆිකර් රහිම් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ඊයේ උදය වරුවේ ශතක වාර්තා කළහ. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 230ක් රැස්කර ගෙන සිටියේය.

ඩිල්ෂාන් ඊයේ ලබා ගත්තේ ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 139කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 8ක් ඇතුළත්ව තිබිණි. සංගක්කාර ලබා ගත්තේ ඔහුගේ 32 වැනි ටෙස්ට් ශතකයයි. මේ අනුව ඔහු ප්‍රථම වතාවට ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පිතිකරුවෙක් බවට පත්විය.

පළමු ඉනිමේදී ‘සංගා’ ලකුණු 142ක් ලබා ගත්තේය. ඔහු ඊයේ ශතකය වාර්තා කළේ පන්දු 156කිනි. හතරේ පහර 10ක් ඊට ඇතුළත්ව තිබිණි. දිවා ආහාරයෙන් පසුව පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් සංගක්කාර දැවී ගියේය.

‘ෂෝට් මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ජහුරුල් ඉස්ලාම් ට උඩ පන්දුවක් දෙමින් සංගක්කාර දැවී යන විට ලකුණු 105ක් රැස්කර ගෙන සිටියේය. මිනිත්තු 216ක් කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 172කට මුහුණ දුන්නේය. හතරේ පහර 10ක් එල්ල කළේය.

සංගක්කාර හා ඩිල්ෂාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 55.2කදී ලකුණු 213ක සබඳතාවක් පිහිටුවූහ. සංගක්කාරගේ කඩුල්ල මෙන්ම ඊළඟට දැවී ගිය ඩිල්ෂාන්ගේ කඩුල්ලද ලබා ගත්තේ දඟ පන්දු යවන මහ්මුදුල්ලා ය. ඩිල්ෂාන් දැවී ගියේ අබුල් හසන්ගේ දර්ශනීය උඩ පන්දු රැක ගැනීමකිනි.

ඩීප් බැක්වර්ඩ් ස්කුවෙයාර් ලෙග්’ ස්ථානයේ සිට ඉදිරියට දිව ආ ඔහු අවසානයේ ඉදිරියට පනිමින් උඩ පන්දුව අල්ලා ගත්තේය. මිනිත්තු 266ක් තිස්සේ පන්දු 190කට මුහුණ දුන් ඩිල්ෂාන් හතරේ පහර 9ක් ඇතුළත්ව තිබිණි. ශ්‍රී ලංකාව කඩුලු 3 ට ලකුණු 249 යි.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වමතින් පිත්ත හසුරුවන කිත්රුවන් විතානගේ හතරේ පහර 7ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 70කින් ලකුණු 59ක් ලබා ගත්තේය. මිනිත්තු 82ක් කඩුල්ලේ රැඳී සිටි ඔහු මහ්මුදුල්ලාගේ පන්දුවට පහර දීමට යාමේදී පන්දුව පිත්තේ අග ගෑවී කඩුල්ලේ ගැටීමෙන් දැවී යන විට මුළු ලකුණු ප්‍රමාණය 320ක් විය. ඔහු සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85කින් ලකුණු 71ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව පස්වරු 2.18 ට ඉනිම නතර කළේය. ඒ වන විට මැතිව්ස් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමග පන්දු 49කින් නොදැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියේය. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 2 යි. මහ්මුදුල්ලා ලකුණු 70කට කඩුලු 3ක් ලබා ගත්තේය. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2 දී බිඳ වැටිණි. ඇනාමුල් හක් (1) දෙවැනි ඕවරයේ ශමින්ද එරංගගේ දෙවැනි පන්දුවෙන් දැවී ගියේය.

8 වැනි ඕවරයේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබියදී රංගන හේරත්ගේ පන්දුවට මොහමඩ් අෂ්රෆුල්ගේ පහරින් පැමිණි උඩ පන්දුව රැක ගැනීමට ‘පොයින්ට්’හි පන්දු රකිමින් සිටි කුමාර් සංගක්කාර උත්සාහ කළද එය සාර්ථක නොවිණි. ඒ වන විට අෂ්රෆුල් ලබා ගෙන සිටියේ ලකුණු 3ක් පමණි. දෙපිල අතර දෙවැනි හා අවසාන ටෙස්ට් ගැටුම ලබන 16 වැනිදා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා