දැන් කවුරුත් උප්පැන්නේ දෙන්න හැදුව‍‍ට පාසල් රගර් මේ තත්ත්වයට ගෙනාවේ අපියි

දැන් කවුරුත් උප්පැන්නේ දෙන්න හැදුව‍‍ට
පාසල් රගර් මේ තත්ත්වයට ගෙනාවේ අපියි

 - සභාපති රංජිත් චන්ද්‍රසේකර

මීට වසර 15කට පෙර පාසල් රගර් සංගමයේ සභාපතිධුරයට පත්වන විට වර්තමානයේ මෙන් තරගකාරිත්වයක් ‍පාසල් රගර් තරගබිමේ නොතිබූ බවත්, ස්වාධීන අනන්‍යතාව රැකගනිමින් පාසල් රගර් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තමා ඇතුළු කණ්ඩායම කැපවීමෙන් යුතුව කටයුතු කළ බවත් පාසල් රගර් සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

'දැන් කවුරුත් උප්පැන්නේ දෙන්න හැදුවට පාසල් රගර් මේ තත්ත්වයට ගෙනාවේ අපියි. මේක අපි හදාගත්තු සංගමයක්. ස්වාධීනව කටයුතු කරමින් පාසල් රගර් රටපුරා ජනප්‍රිය කළේ අපේ කැපවීමෙන්. අපි පාසල් රගර් තරගාවලි ආරම්භ කරලා හොඳ ක්‍රීඩකයන් තේරුවා. දිනන කණ්ඩායම් ඉහළට දමා පරදින කණ්ඩායම් පහළ දමමින් මේ තරගකාරිත්වය අපියි ඇතිකළේ.' චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේය.

පාසල් රගර් සංගමයේ සභාපතිවරයා මෙසේ සඳහන් කළේ සිංගර් පාසල් රගර් ලීග් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව ඊයේ (12) ගලධාරී‍ ‍හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙරට පාසල් රගර් ක්ෂේත්‍රයේ දස්කම් උරගා බලන වාර්ෂික රගර් තරගාවලිය ලෙස සැළකෙන සිංගර් පාසල් ලිග් තරගාවලියේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ චන්ද්‍රසේකර මහතා කියා සිටියේ සභාපතිවරයා ලෙස මාධ්‍ය හමු‍වේ පෙනී සිටින අවසන් අවස්ථාව මෙය බවය.

සිංගර් ලීග් පාසල් රගර් තරගාවලියේ සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා පාසල් රගර් සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාට පිරිනමමින්.
ඡායාරූපය – රංජිත් අසංක

'පාසල් රගර් සංගමයේ වැඩිම කාලයක් සභාපති ලෙස කටයුතු කළ මම මාධ්‍ය හමුවේ කරන අවසන් කතාව මෙයයි. පසුගිය කාලය පුරාම අපි පාසල් රගර් සංගමය ලෙස විවිධ බාධක හා අභියෝගවලට මුහුණ දුන්නා. නඩුවලට මුහුණ දුන්නා. ඒත් අපි කා ඉදිරියේවත් දණ ගැහුවේ නෑ. ස්වාධීනත්වය රැකගනිමින් කටයුතු කළා. සමහරු චෝදනා කළා මම පාසල් රගර් ක්‍රීඩාව හරියට 'මාකට්' කරන්නේ නෑ කියලා.

මට පාසල් රගර් ක්‍රීඩාව මාකට් කරන්න ඕන කළේ නෑ. හොඳට මතක තියාගන්න ඕනෑම සංගමයකට මුදල් වැඩිවීම ප්‍රශ්න ගණනාවක ආරම්භයක් බව.' චන්ද්‍රසේකර මහතා කියා සිටියේය. පාසල් රගර් ක්‍රීඩාවට අන්තර් ජාතික මට්ටමේ ප්‍රමිතියක් අවශ්‍ය නැති බවත්, තරගවලදී ඇතිවන ක්‍රීඩකයන්ගේ ගැටුම්, තීරකවරුන්ගේ වැරැදි විනිශ්වයන් පිළිබඳ උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය.

පසුගිය වසරේ පැවැති තරගාවලිය අතරතුර දී විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමට වයසින් වැඩි ක්‍රීඩකයකු සහභාගිවීම උසාවි යාම දක්වා දුරදිග ගිය බව කී සභාපතිවරයා, එහිදී එම පාසලේ රගර් ක්‍රීඩාව භාර ආචාර්යවරයාගේ පාසල් රගර් සංගමයේ විධායක සාමාජිකත්වය වසරකට අත්හිටවු බවත්, කණ්ඩායමේ පුහුණුකරුට වසරක තහනමක් පැනවූ බවත් අනාවරණය කළේය.

පසුගියදා එක්තරා පාසලක් මගින් සංවිධානය කළ සත් සාමාජික රගර් තරගාවලියකට එම විදුහලේ රගර් පුහුණුකරු සම්බන්ධවීම ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ එය ආරාධිත රගර් තරගාවලියක් බැවින් ඒ සම්බන්ධව කටයුතු කිරීම තම සංගමයට අදාල ‍නොවන බවය.

ශ්‍රී ලංකා රගර් සංගමය සමග කිසිදු ගැටලුවක් නොමැති බවද හැකි සෑමවිටම ඔවුන් හා සහයෝගීව කටයුතු කර ඇති බව ද චන්ද්‍රසේකර මහතා කීවේය. එහෙත් විද්‍යාර්ථ විදුහල සම්බන්ධ අර්බුදයේ දී ශ්‍රී ලංකා රගර් සංගමයෙන් උපදෙස් ලබා ගත්තේදැයි මාධ්‍යවේදියකු කළ විමසීමක දී ඒ මහතා මෙසේ පැවැසිය 'මේ වගේ ප්‍රශ්නවලදී ඔවුන්ගෙන් උපදෙස් ගැනීම අවශ්‍ය නෑ.

මේක අපේ ප්‍රශ්නයක්. අනික නඩු දැම්මේ පාසල නෙවේ. ක්‍රීඩකයන්ගේ මවුපියන්. ඔවුන් නඩු දැම්මා. අපි නඩුවට පෙනී සිටියා එපමණයි.' ඔහු කීවේය. තමා සභාපතිධුරය දැරූ කාලය තුළ මාධ්‍යවේදීන්ගේ ලැබූ සහයෝගය අගය කළ චන්ද්‍රසේකර මහතා ඒ පිළිබඳව ඔවුන්ට ස්තූතිය පළ කළ අතර ඉදිරියේදී පත්වන පාසල් රගර් සංගමයේ නව සභාපතිවරයාට ද එලෙසම සහයෝගය ලබාදෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස්, එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නසීර් මජීඩ්, පාසල් රගර් සංගමයේ උප සභාපති ජගත් සේමසිංහ සහ අවුරුදු 20න් පහළ තරගාවලියේ ලේකම් ගාමිණී සරත්චන්ද්‍ර මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වූහ. පාසල් රගර් පිටියේ විශිෂ්ටතම කණ්ඩායම් 70කට අධික සංඛ්‍යාවක් තරග වදින සිංගර් ලීග් රගර් තරගාවලිය මේ මස 15වැනිදා ආරම්භ වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා