තණතීරුව ගැන මැතිව්ස් කලකිරෙයි

තණතීරුව ගැන මැතිව්ස් කලකිරෙයි

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය පැවැති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳව තමා කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ප්‍රථම වතාවට නායකත්වය දුන් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ තරගය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූවද තණතීරුවෙන් ඔවුනට කිසිම සහායක් නොලැබුනු බව මැතිව්ස් කීවේය. “තණතීරුවේ දඟ කැවීමක් තිබුනේම නැහැ. රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් ලෝකයේ සිටින දක්ෂතම දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්.

නමුත් ඔවුන්ට තණතීරුවෙන් කිසිම සහයෝගයක් ලැබුනේ නැහැ.” තණතීරු සකස්කරන්නන්ගේ කාර්යයට ක්‍රීඩකයන් ඇඟිලි නොගසන බවත් එහෙත් වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙද්දී ඔවුනට කණ්ඩායමේ අදහස් ලබා දෙන බවත් මැතිව්ස් ප්‍රකාශ කළේය.

උඩ පන්දු ගිලිහී යාමද කණ්ඩායමේ පසුබැස්මට එක් හේතුවක් වු බවද ඔහු කියා සිටියේය. “ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම වෙනවා. කිසිම කෙනෙක් ඕනෑකමින් උඩ පන්දු අතහරින්නේ නැහැ.” කුමාර් සංගක්කාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් දක්ෂ ලෙසින් ක්‍රීඩා කළ බව පැවසූ ශ්‍රී ලංකා නව නායකයා, “පළමු ඉනිමේදී ලකුණු 570ක් ලබා ගැනීමෙන් පසුව ඉනිම නතර කළේ හොඳ තරගයක් ක්‍රීඩා කිරීමේ අදහසිනුයි” කීවේය.

තරගයේ අවසන් දිනයේ (ඊයේ) බංග්ලාදේශයට ඕවර 37කින් ලකුණු 268ක ඉලක්කයක් ලබා දුන්නේ ඔවුන්ගේ කඩුලු කිහිපයක් දවා ගැනීමේ අදහසින් බවද කී මැතිව්ස් බංග්ලාදේශය මෑත කාලයේ සිට හොඳින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බවද කියා සිටියේය.දෙපිල අතර ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය පිළිබඳවද මැතිව්ස් අදහස් දැක්වීය.

“ඒ ක්‍රීඩාංගණයේ මෑතකදී අපි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර නැහැ. එහි තණතීරුව ගැන අපි තවමත් බැලුවේ නැහැ. දින දෙකක පමණ විවේකයකින් පස්සේ අපි ඒ තරගයට සූදානම් වෙනවා. ඒ තරගය සඳහා වන කණ්ඩායමේ සංයුතිය ගැනත් අපි තවම හිතලා නැහැ.” තවදුරටත් තමාගේ අරමුණ වී තිබෙන්නේ මේ ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීම බවත් කණ්ඩායමට එය කළ හැකි බව තම විශ්වාසය බවත් ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා