කුරුණෑගල 9200කට තැපැල් ඡන්දය නෑ

කුරුණෑගල 9200කට තැපැල් ඡන්දය නෑ

නිලධාරීන්ගේ නොසැලකිල්ල ප්‍රධාන හේතුවයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් නවදහස් දෙසීයකට පමණ මෙවර පළාත් සභා ඡන්දයේදී තැපැල් ඡන්ද පාවිච්චි කිරීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබේ.

ඒ අනුව තැපැල් ඡන්ද හිමි ඡන්දදායකයන් සංඛ්‍යාව 55577 ක් වන අතර ඉන් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සැලසී තිබුණේ ඡන්දදායකයන් 46374කට පමණි.

තැපැල් ඡන්ද අයැදුම්පත් ලබාදී ඇති නියමිත කාලය තුළ මැතිවරණ කාර්යාලය වෙත යැවීමට රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් අපොහොසත් වීම නිසා තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේපවීම ප්‍රධාන හේතුව වෙයි.

මෙතරම් විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමිවීම නිසා රාජ්‍ය සේවකයෝ දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

රාජ්‍ය සේවකයන් මෙතරම් විශාල පිරිසකට තැපැල් ඡන්දය අහිමි වීම තුළ කඩාකප්පල්කාරී සැලසුමක් ඇතැයි ඡන්දය දීමට අවස්ථාව නොලැබුණු රාජ්‍ය සේවකයෝ පැවසූහ.

කුරුණෑගල රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ දිනමිණ කතා කළ අවස්ථාවේ හෙළිදරව් වූයේ ඡන්දදායකයන් ඔවුන්ගේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම් නියමිත වේලාවට සිදු කළත් එම රාජ්‍ය ආයතනවල ආයතන ශාඛා මගින් තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කාර්යාලය වෙත ලබාදීමට හිතාමතාම ප්‍රමාද කර ඇති බවයි.

රාජ්‍ය සේවකයන් මෙතරම් විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමිවූයේ කෙසේද යන්න පිළිබඳව කුරුණෑගල මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ලබාදී ඇති නියමිත කාලය තුළ තැපැල් ඡන්ද අයදුම්පත් එවූ ආයතනවල ඡන්ද දායකයන්ට තැපැල් ඡන්ද එවා ඇති බවයි.

තවද තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී තිබූ අවසන් දිනයේ නියමිත පරිදි රාජ්‍ය ආයතනවලින් අයදුම්පත් නොලැබී තිබූ නිසා එම රාජ්‍ය ආයතනවලට සහායක් වශයෙන් තවත් දිනයක් කාලය දීර්ඝ කරදීමටද පියවර ගෙන තිබුණි.

ඇතැම් රාජ්‍ය ආයතනවලින් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට දින 5 - 6 ක් ප්‍රමාදවී එම අයදුම්පත් එවා ඇත.

රජයේ ආයතනවල ඉහළ නිලධාරීන් නියමිත ආකාරයෙන් සොයා බලා නියමිත වේලාවට මේවා එවීමට පියවර නොගැනීමේ වරද නිසා මෙතරම් විශාල පිරිසකට තැපැල් ඡන්දය අහිමි වී තිබේ.

මෙම ගැටලුවට විකල්පයක් ලෙස ඉදිරියට එන ඡන්ද දිනයේදී තැපැල් ඡන්ද අහිමි වූ ඡන්ද දායකයන්ට තම ප්‍රදේශයට ගොස් ඡන්දය දැමීමට අවස්ථාව සලසා ඇති බව කුරුණෑගල මැතිවරණ කාර්යාලයේ මෙම නිලධාරියා කීය.

එහෙත් මෙම ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි ගැටලු ඇති බව රාජ්‍ය සේවකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා