ආසියාවේ කෝඩුකාර ඇෆ්ගනිස්තානය  බංග්ලාදේශය පරදවා වාර්තා පොතට යයි

ආසියාවේ කෝඩුකාර ඇෆ්ගනිස්තානය  බංග්ලාදේශය පරදවා වාර්තා පොතට යයි

සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අන්තර්ජාතික ක්‍රිකට් බිමේ ලාබාලතම කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානය ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාවේ සත්කාරක බංග්ලාදේශය සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 32ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයේ මුල් කඩුලු 5ම ලකුණු 90ක් තුළ බිඳ වැටුණු මොහොතේ අස්ගර් ස්ටැනික්සායි සහ සමියුල්ලා ශින්වාරි එක්ව 6වැනි කඩුල්ලට ලකුණු 164ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. අස්ගර් පන්දු 103කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමග නොදැවී ලකුණු 90ක් රැස් කිරීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සමියුල්ලා පන්දු 69කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග ලකුණු 81ක් වාර්තා කළේය.

ආසියානු ක්‍රිකට් පිටි‍යේ කෝඩුකාරයන් ලෙස තරගමාලාවට එක්වූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් දැක්වූ සාර්ථක පිතිහරඹය මත ඕවර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 254ක් එක්විය. පන්දු යැවීමේ දී අරෆත් සනී කඩුලු 2ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල ඕවර 47.5කදී ලකුණු 222කට දැවී ගියේය. ඇෆ්ගනිස්තාන පිලේ දුර්වල පන්දු රැකීම ඉනිම පුරාම කැපී පෙනුණු අතර නසීර් හොසේන් අවස්ථා 4කදී දුන් උඩපන්දු රැක ගැනීමට ඔවූහූ අසමත්වූහ. කෙසේවුවද ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගේ සටන්කාමිත්වය මත තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමිවිය. බංග්ලාදේශ පිල වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කළ අතර නසීර් හොසේන් ලකුණු 41ක් ලබා ගත්තේය. ඉනිමේ අවසන් මොහොතේ නරඹන්නන් කුල්මත් කළ සියාවුර් රෙහ්මාන් පන්දු 22කදී වේගවත් ලකුණු 41ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන පිලේ නායක මොහොමඩ් නබි කඩුලු 3ක් දවාලූ අතර හමීඩ් හසන් සහ ෂපූර් සඩ්රාන් අතර කඩුලු 2බැගින් බෙදී ගියේය.

පළමුවරට ආසියානු කුසලාන තරගමාලාවට එක්වූ ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණය ටෙස්ට් තත්ත්වය ලැබූ රටකට එරෙහිව ඔවුන් ලද පළමු එක්දින තරග ජයග්‍රහණය ලෙස වාර්තාපොතට එක්විය. තරගයේ වීරයා සම්මානය සමියුල්ලාට හිමිවිය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා