ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට විදෙස් පුහුණුකාරිනියක්

‍හොං‍කොං තරගාවලියේ පරාජයෙන් පසු

ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට විදෙස් පුහුණුකාරිනියක්

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල විදෙස් පුහුණුකාරිනියක් යටතට පත් කිරීමට යයි. හොං‍කොං හී පැවැති තුන්කොන් නෙට්බෝල් තරගාවලියේ දී ලද පරාජය හේතුවෙන් මේ තීරණය ගෙන ඇතැයි පැවැසේ. ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ පුහුණුකිරීම් ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නොවන හෙයින් ඉතා ඉක්මනින් විදෙස් පුහුණුකාරිනියක් ‍තෝරා ගන්නා ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා‍ නෙට්බෝල් සම්මේලනයට උපදෙස් ලබා දී තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියගෙන් කළ විමසීමක දී පැවැසුවේ ආසියානු නෙට්බෝල් ශූරතාවලියට කලින් ලොව හොඳම මට්ටමේ නෙට්බෝල් පුහුණුකාරිනියක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාවේ සිටින නෙට්බෝල් පුහුණුකාරිනියන් ඉතා දක්ෂ අය වුවද අනෙක් රටවලට අභියෝග එල්ල කළ හැකි මට්ටමක් ගොඩ නැගීමට විදෙස් පුහුණුකාරිනියක් අවශ්‍ය බව තමා ද පිළිගන්නා බව නෙට්බෝල් සභාපතිනිය පැවැසුවාය. ආසියානු තරගාවලිය හා ඉදිරි ක්‍රීඩා දියුණුව උදෙසා ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් කඩිනමින් ක්‍රියාවට නගන බව ඇය පැවසුවාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින නෙට්බෝල් පුහුණුකාරිනියන්ට විදෙස් රටක පුහුණුව දිය යුතු බව ද ඇය අවධාරණය ක‍ළාය.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල ආසියාවේ අනුශූරියන් වන අතර මේ වසරේ සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු ශූරතාවලියට සහභාගීවීමට නියමිතය. එම ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සැප්තැම්බර් 7සිට 14දක්වා පැවැත්වෙන අතර රටවල් 8ක් සහභාගි වෙති.

එම තරගාවලියේ පළමු හා දෙවැනි තැනට පත්වන රටවල් දෙක ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‍ලෝක කුසලාන නෙට්බෝල් ශූරතාවලියට සුදුසුකම් ලබන හෙයින් ආසියානු ශූරතාවලිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල අවසන් වරට සහභාගි වූ ‍හොං‍‍කොං තුන්කොන් තරගාවලියේ දී මැලේසියාවට හා ‍හොංකොං ඉදිරියේ පරාජයට පත්වූ හෙයින් විශේෂ පුහුණු සැසි දියත් කළ යුතු බව විචාරක මතය වී ති‍බේ. 2012 ආසියානු නෙට්බෝල් තරගාවලියේ දී මැලේසියා හා හොං‍කොං යන කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූවද වසර 20කට පසු හොං‍‍‍කොං වෙතින් තුන්කොන් තරගාවලියේ දී පරාජය වීම කාගෙත් අවධානයට ලක්ව ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා