පාකිස්තානයට තියුණු ජයක්

පාකිස්තානයට තියුණු ජයක්

සයීඩ් අෆ්රි‍ඩිගේ සුපිරි පිතිහරඹයත්, මොහොමඩ් හෆීස්ගේ ඉවසිලිවන්ත ඉනිමත් හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයෙන් එක් කඩුල්ල තියුණු ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය පිල සමත්විය. බංග්ලාදේශයේ මිර්පූර්හී ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ඉන්දියාව ලබාදුන් ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය ඉනිම නිමවීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී සපුරාලීමට පාකිස්තානයට හැකිවිය.

ලකණු 249ක ඉලක්කය හඹායෑම ඇරැඹු පාකිස්තාන පිලේ පළමු කඩුල්ලට ලකුණු 71ක් එක් කිරීමට ෂාජිල් ඛාන් (25) හා අහමඩ් ෂෙසාඩ් සමත්විය. මුළු ලකුණු 96දී පාකිස්තාන කඩුලු 3ක් බිඳ වැටුණු අතර ඉන් කඩුලු 2ක් ලකුණු 3ක් තුළ දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකිවිය. ෂෙසාඩ් ලකුණු 42කටත්, නායක මිස්බා උල් හක් එක් ලකුණකටත් දැවී ගියේය. ‍මොහොමඩ් හෆිස් හා සොහයිබ් මක්සූඩ් පස්වැනි කඩුල්ලට ලකුණු 87ක් එක්කරමින් පාකිස්තාන ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය. මුළු ලකුණු 200දී හෆිස් ලකුණු 75කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. තරගයේ වීරයා ලෙස නම්කළ හසීස්ගේ ඉනිමට පන්දු 117කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. තවත් ලකුණු 3ක් එක්වෙද්දී මක්සූඩ් (38) ද දැවී ගියේය. ලකුණු 235-236 අතර පාකිස්තාන කඩුලු 3ක් බිඳ වැටීමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහි ගියද සයීඩ් අෆ්රිඩිගේ සුපිරි පිතිහරඹයෙන් පාකිස්තානයට ජය හිමිවිය. එක් කඩුල්ලක් අතැතිව පාකිස්තානයට අවසන් ඕවරයේදී ලකුණු 10ක් අවශ්‍ය වු අතර එහි තෙවැනි හා සිවුවැනි පන්දුවලට පිට පිට හයේ පහර 2ක් එල්ල කරමින් අ‍ෆ්රිඩි පාකිස්තානයට ජය ගෙන ආවේය.

අෆ්රිඩි පන්දු 18කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් රැස් කළේය. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවාගත් අතර අමිත් මිෂ්රා හා බුවනේෂ්වර් කුමාර් කඩුලු 2 බැගින් දවාලුහ. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම අග භාගයේ පිටියට පිවිසි රවින්ද්‍ර ජඩේජා පන්දු 49කින් නොදැවී ලකුණු 52ක් රැස්කරමින් ඉන්දිය පිල ලකුණු 245දක්වා ගෙන ගියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 4ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. අම්බති රායිදු ලකුණු 58ක් රැස්කළ අතර ජඩේජා සමග එක්ව ඉනිමේ හොඳම සබඳතාව ගොඩනගමින් හත්වැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කළේය.

ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 58කට මුහුණදෙමින් හතරේ පහර 7ක් හා ‍හයේ පහර දෙකක් සමගින් ලකුණු 56ක් රැස්කළේය.

තරගයේ 49 වැනි ඕවරයේ කඩුලු 2ක් සමගින් සයීඩ් අජ්මාල් කඩුලු 3ක් දවාගත් අතර තම මංගල එක්දින තරගය එක්වු මොහොමඩ් තල්හා හා මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් දවාගත්හ.

ඉන්දියාව-245/8යි (ඕවර 50) අම්බති රායිදු 58, රෝහිත් ශර්මා 56, රවින්ද්‍ර ජඩේජා නොදැවී 52 (සයීඩ් අජ්මාල් 40/3)

පාකිස්තානය-249/9 (ඕවර 49.4) මොහොමඩ් හෆීස් 75, සොහයිබ් මක්සූඩ් 38, සයීඩ් අෆ්රිඩි නොදැවී 34 (රවිචන්ද්‍රන් අශ්වින් 44/3)

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා