ඉවසීම නැත්නම් මෙලොව දියුණුවත් නෑ

ඉවසීම නැත්නම් මෙලොව දියුණුවත් නෑ

ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි අම්බලන්ගොඩ, ගල්දූව ආරණ්‍ය සේනාසනය

* ස්වාමීන් වහන්ස, සාමාන්‍ය දැනුමැති පුද්ගලයකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම අපහසු ද?

බුදුරජාණන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අබියසදී ය. ඒ අවබෝධ කරගත් ධර්මය තව කෙනකුට අවබෝධ කරන්නත් අමාරුයි කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙත් නුවණ හොඳට තියෙනවානම් තේරුම් ගන්න අපහසුවක් නැහැ.

චතු කියන්නේ හතරට. ආර්ය කියන්නේ බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ට. උන්වහන්සේලාගේ දොරටු සතරයි. සත්‍ය කියන්නේ ලෝකය පවතින හා විනාශ වන කාලයකදී වුණත් මේ සත්ත්වයා අතර තිබෙන නැති කළ නොහැකි දෙයක් වන ‘දුක’ ගැනයි. දුක කාටවත් සැප කියලා කියන්න බැහැ. මනුස්සයෙක් විඳින දුක අප්‍රමාණයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන්නේ තණ්හාව.

නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණය. මාර්ග සත්‍යය කියන්නේ නිවනට යන මඟයි‍. මෙන්න මේ සත්‍යයන් සතර අවබෝධ කර ගැනීම දුෂ්කර කාර්යයක්.ධර්ම සතර දියුණු කර ගන්න නුවණම දියුණු කර ගත යුතුයි.

* මෙම උත්තරීතර ධර්මය අවබෝධ කර ගැනීමට පුද්ගලයෙක් තමන් තුළ ගොඩනඟා ගත යුතු ධර්මතා මොනවාද?

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ක්‍රම දහයක් දියුණු කර ගත යුතු බව ධර්මයේ පෙන්වනවා. පළමුවැන්න දන්දීමයි. එය හොඳ හැටි කළොත් ඕනෑකමින්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් කළොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දෙවැන්න පංච සීලය, අටසිල්, දස සිල්, සාමණේර සිල්, තාපස සිල් මේ හැම ශීලයක්ම ගෞරවයෙන් පිරිය යුතුයි. තුන්වැන්න ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්කම තිබිය යුතුයි.

ගේ දොර, දූ දරුවන්, ඥාතීන්, හිතවතුන්, මිල මුදල් ඕනෑම දෙයක් අත හැරීමට හැකියාව තිබිය යුතුයි. එය කළ යුත්තේ තරහවෙන්, වෛරයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි. නුවණින් කළ යුතු දෙයක්.

හතරවැන්න, කරන කියන හිතන හැම දෙයක්ම නුවණින් කළ යුතුයි. නුවණ නැත්නම් කරන, කියන දේ සාර්ථක නැහැ. අධ්‍යාපනය ලබන දරුවෙක් නම් එය සාර්ථක කර ගැනීමට නුවණින් යුතුව වැඩ කරන්න ඕනෑ. රැකී රක්ෂාවේ කටයුතු සාර්ථක කර ගන්න නම් සිහි කල්පනාවෙන් නුවණින් වැඩ කළ යුතු පැති කිහිපයක්ම තිබෙනවා.

එළිවෙනකම් නිදාගන්න, මන්දෝත්සාහය ඇති අයට සත්‍ය සතර අවබෝධ කරන්න බෑ. හයවන දේ ඉවසීමයි. එය අත්‍යවශ්‍යයයි. ‘සීලං සමාධි පඤ්ඤාණං ඛන්ති තදානුකාරණා’ යනුවෙන් ශීල, සමාධි ප්‍රඥාව වඩන්න, ඉවසීම අවශ්‍ය බව සඳහන් වෙනවා. අධ්‍යාපනයට, රැකියාවට හැමදේකටම ඉවසීම අත්‍යවශ්‍යයි. කෑම බීම ටික ගන්න, ගමන බිමන යන්න හැම දේකටම ඉවසීම තියෙන්න ඕන. ඉවසීම නැත්නම් ලෝකෝත්තර දියුණුව පමණක් නෙවෙයි ලෞකික දියුණුවවත් ලබාගන්න බැහැ.

ඊළඟට සත්‍යවාදී වෙන්න ඕනෑ. බොරු කියන්න බෑ. කේලාම් කියන්න බෑ, නපුරු වචන බෑ. හොඳ සත්‍යවාදීව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන කෙනෙක් විය යුතුයි. ඊළඟට අධිෂ්ඨානශීලී වියයුතුයි. මධ්‍යස්ථව ඉන්න පුළුවන්කම තිබිය යුතුයි. මේ කරුණු දහය යම්කිසි කෙනෙකු ළඟ තියෙනවා නම් ඒ තැනැත්තාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්.

* එදිනෙදා ජීවිතයේ විඳින බාහිර දුක හැර නියත වූ දුක දුක්ඛ සත්‍යයක් බව වටහා ගන්නේ කෙසේද?

අ‍වබෝධ කරගන්නා දහම චතුරාර්ය සත්‍ය ධර්මය සෝවාන් මඟින් අවබෝධ වෙනවා. සකෘදාගාමී බවෙන් අවබෝධ වෙනවා. අනාගාමී බවෙන් තවත් පිරිසුදුව අවබෝධ වෙනවා. අරහත් මාර්ග ඥානයෙන් හොඳටම පිරිසිදුව අවබෝධ වෙනවා.

දුක්ඛ සත්‍යය යනුවෙන් හඳුන්වන්නේ ඉපදීම ඊට වඩා භයානක දුකක්. මේ තරම් භයානක දුකක් මේ ලෝකේ නැහැ. අපි හැමදාම මව්කුසේ ඉපදෙනවා. මව්කුස කියන්නේ දිව්‍ය මාලිගාවක් නෙමෙයි. හැමදෙනාම අන්ත දුක් විඳපු තැනක්. ඒ අන්ත දුක් විඳපු අයට දුක අවබෝධ කර ගන්නට පුළුවන්කමකුත් නෑ. තේරුම් ගන්නෙත් නැහැ. අංගවිකලව, මන්දබුද්ධිකව ඉපදීම දුකක්. සතර අපායේ ඉපදීම දුකක්, නැවත නැවත ඉපදීම මියයාම දුකක්. ජරාව දුකක් බව හොඳට වටහා ගෙන එයින් නිදහස් වෙන්න කල්පනා කළ යුතුයි.

ව්‍යාධිය යනු ලෙඩවීමයි. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම අති විශාල රෝග හට ගන්නවා. පපුවේ රෝග, පිළිකා රෝග, වකුගඩු, අක්මා රෝග මේවා සුවකිරිම පහසු වැඩක් නෙවෙයි. මේ කියන ‍රෝග පීඩා බහුල බව වටහාගෙන එය දුකක් බව වටහා ගත යුතුයි.

ඊළඟට ජරාවෙන් මරණය ලෙඩ රෝගවලින් දවසකට මොන තරම් පිරිසක් මැරෙනවද? අනතුරුවලින්, අවි ආයුධවලින්, ගින්දරෙන්, වස විසවලින් මැරෙනවා. මේ මැරෙන ක්‍රමයත් මැරෙන ප්‍රමාණයත් භයානකයි. අන්න ඒක අන්ත දුකක් බව වටහාගෙන කටයුතු කරන්න ඕන.

කෙනෙක් හෙට හෝ ලබන සතියේ හෝ මැරෙනවා කිව්වොත් අද ඉඳලම කන්න බොන්නෙ, නිදාගන්නේ නෑ. එතරම් බයයි මේ මරණයට. රහතන් වහන්සේ බය නෑ. අනෙක් හැම කෙනෙක්ම මරණයට බයයි. ඒ නිසා මරණයක් ඉස්සරහා තියෙන බව වටහාගෙන පුළුවන් තරම් පින් දහම් කරගත්තොත් මරණෙන් මත්තේ හොඳ තැනකට යන්න පුළුවන්.

* පුද්ගලයා මුහුණපාන බාහිර දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදෙන්නේ කෙසේද?

ඉපදුනු දා සිට හඬන්න, වැළපෙන්න වෙනවා. ඒ වගේම බාහිර දුක් කරදර තියෙනවා. මානසික දුක් තියෙනවා. කැමැති දේ ලැබෙන්නේ නෑ. අකමැති දේ හමු වෙනවා.

ඒ වගේම අප්‍රියන් සමඟ එක් වෙන්න වෙනවා. අසත්පුරුෂයෝ සමඟ වාසය කරන්න වෙනවා. සත්පුරුෂයෝ නොලැබී යනවා. කෙටියෙන් කියනවා නම් මේ කියන පංචඋපාදානක්ඛන්ධයම මහා දුකක්.

මෙන්න මේ කරුණු ටික තමයි තමා ළඟ තිබෙන දුක. මෙන්න මේ දුක්ඛ සත්‍ය මනා කොට අව‍බෝධ කරගන්නට කවුරුත් වෙහෙසමහන්සි වෙන්නට ඕන. මේ එදිනෙදා තියෙන දුක, දුකක් බව නුවණින් වටහා ගත යුතුයි.

යහපත් දේ කළවිට එයින් විශාල සැපයක් ලැබෙනවා. දුකෙන් අත්මිදෙන්නට ලැබෙනවා. මේ කියන දුක්ඛ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට හැකි වන්නේ එවිටයි.

* ධ්‍යාන අභිඥාලාභියකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත හැකිද?

ලෝක ජනගහනයෙන් කෝටි 700ක් පමණ ජනතාව සිටිනවා. මෙයින් දහමට සවන් යොමු කරන්නේ බොහොම ස්වල්ප දෙනයි. ඔවුන්ට විතරයි දුක්ඛ සත්‍ය ආදී ධර්මය අව‍බෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම දෙව්ලොව, බඹලොව අප්‍රමාණ දෙවියන්, බඹුන් ආදී හැම කෙනෙකුටම බැහැ මේ දහම අවබෝධ කරන්න.

ඒ සඳහා පිනක් තිබිය යුතුයි. ධ්‍යාන අභිඥාව ලැබුවත් නිවන් දකින්න ඕන කියලා හිතුවේ නැත්නම් කවදාවත් මේ දහම අවබෝධ කරන්න හැකියාවක් ලැබෙන් නෑ.

* චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට කෙනෙකු වීර්යය වඩන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියා පිළිවෙත කුමක්ද?

අනුන්ට කරදරයක්, පීඩාවක් නැතිව තම ජීවනෝපාය ගෙනියන්න පුළුවන්නම් තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගන්නට පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපේ මේ යහපත් වැඩපිළිවෙළ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා.

මේ කියන දැහැමි පිළිවෙත් මග අනුගමනය කර ගෙන ලොව්තුරා බුදුවරයෙක් වදාරන ධර්මයට හිත යොමු කරලා මේ කියන ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙනවා නම් ඒ අයට මුලින් කී කරුණු දහය ප්‍රයෝජනවත් වෙනවා. එහෙම කල්පනා කරලා ලොව්තුරා තථාගත ධර්මය අව‍බෝධ කර ගැනීම සඳහා දැහැමි පිළිවෙත් මග ගමන් කිරීමට හැම දෙනාම උත්සාහයෙන් වැඩ කරන්නට ඕන. දුක්ඛ ආර්ය සත්‍ය ධර්මය අවබෝධයට වෙර දරන්නට ඕන.

රැකියාවට ගියත්, අධ්‍යාපනයට ගියත්, පාරතොටේ ගියත් සිහි කල්පනාවෙන් ගමන් කරන්නට ඕන. තණ්හාවෙන්, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ගමන බිමන පවා වළකින්නට ඕන. හොඳ හිතකින් අවදිවන්නට ඕන. තෙරුවන් සරණ යන්නට ඕන. හොඳ හිතකින් ජීවත්වන්නට ඕන.

අපේ එක්දහස් පන්සීයක් පවිටු සිතිවිලි, සිතේ තියෙන ලෝභ, ද්වේශ, මෝහ ආදී කිළිටු අපවිත්‍ර දේවල් සිතෙන් බැහැර කරලා මෙලොව ජීවිතය හොඳට සකස් කරගෙන පිනට දහමට නැඹුරු වෙන්න ඕන.

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා කවුරුත් මහන්සි ගන්නට ඕන කියන කාරණාව තම තමන් කවුරුත් කල්පනා කරලා දහමට සිත නැඹුරු කර ගැනීමට කල්පනා කළ යුතුයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා