කපක් පවතිනු මිසක නොමැකෙන ලොව පැරැණිතම සාම ගිවිසුම

කපක් පවතිනු මිසක නොමැකෙන ලොව පැරැණිතම සාම ගිවිසුම

මනරම් මල්කමින් ලියකමින් යුතු මකර තොරණ දුටු දුටුවනගේ හදෙහි සොවක් කෝපයක් මෙන්ම බියක් ද ඇති කරවනවා මිස පහන් සිතක් ඇති කරන්නේ නැත. එය අබලන්ව බිඳ වැටෙන්නට නියමිත බැවිනි. නටබුන් මකර තොරණ ලෙස එය හඳුන්වන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව කවරකුට වුව වැටහේ.

එකල වෙහෙරෙහි බිතු අලංකාර කළ බිතු සිතුවම් සමූහයද බිතුසිතුවම් මෙන් පිටු නොපාවි යන දහම බොරු කරන්නට මෙන් මැකී යමින් පවතී. පිළිම වහන්සේගේ ශ්‍රී හස්තය බිඳ දමා ඇත්තේ ළතෙත් ගුණයෙන් තොර නිධන් සොරුන් විසිනි. එහෙත් මේ සියලු විපත් හමුවේ නොසැලී නොනැසී එදා මෙන් ජීවමානව පවතින එක් දෙයක් තිබේ. අදත් හෙටත් සදහටත් එය එසේම පවතිනවාට නිසැකය.

ලෝකයේ විවිධ ස්වරූපයේ යුද ගැටුම් තුළ නොයෙකුත් ආකාරයේ සම්මුති, සාම සාකච්ඡා හා සාම ගිවිසුම් බිහි වුවද, ලෝකයේ ප්‍රථම හා එකම සෙල්ලිපි ගත සාම ගිවිසුම ඇත්තේද මෙහි බව දන්නෝ බහුල නැත.

මීට වසර 862 කට පෙර එනම් ක්‍රි.ව. 1153 දී පළමුවැනි පරාක්‍රමබාහු(ක්‍රි.ව.1153 – 1186) සහ දෙවැනි ගජබා (ක්‍රි.ව.1132 – 1153) යන රජවරුන් අතර ඇති කරගත් මෙම සාම ගිවිසුම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොකරැල්ල ගම්මානයේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් මැද්දෙකැටිය වැව ඉස්මත්තේ පිහිටි ඓතිහාසික සංගමු රජමහා විහාරස්ථානයේ ගල් තලාවක කොටා පිහිටුවා තිබේ.

ගලේ කෙටූ සාම ගිවිසුම

පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබා අතර එවකට පැවති යුද්ධය මෙම ගිවිසුමට අනුව නතර කෙරුණු බැව් මහා වංශයේ සඳහන් ය.

ප්‍රදේශයේ උස් කඳු මුදුනක එහෙත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ. විහාර භූමියට ඇතුළුවන කිසිවකුට මුලින්ම හමුවන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුතු මෙම සෙල්ලිපියයි. එපමණක් නොවේ. ලංකා ඉතිහාසයේ බොහෝ දේ කැටිකොට සඟවාගෙන සිටින සංගමුව විහාර භූමිය අවට ස්වභාව ධර්මයේ අසිරිය ඕනෑම අයෙකුගේ දෙනෙතට ප්‍රියය. නිස්කලංකය. අක්කර පනස් දෙකක විශාලත්වයකින් යුතු විහාර භූමිය පුරා තැන තැන නටබුන් රැසක් විසිර පවතී.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දක් සේ සැලකෙන සංගමුව විහාරස්ථානය පිහිටි සංගමුව නමැති පින්බර ගම්මානය උතුරින් කිඹුල්වානා ඔයෙන්ද, දකුණින් ගොපල්ලව පන්සල් කන්දෙන්ද, බටහිරින් අරගම කඳුයායෙන්ද නැගෙනහිරින් මැද්දෙකැටිය වැවෙන්ද මායිම්ව පිහිටා තිබේ.

12 වැනි සියවසේ භාවිතා කෙරුණු මධ්‍ය කාලීන අක්ෂර මාලාවකින් ලියා ඇති සංගමුව සාම ගිවිසුමේ අනුවාදය (පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දක්වා ඇති පරිදි) මෙසේය. “යහපත්කම වේවා. මහා සම්මත පරම්පරාවෙන් අඛණ්ඩව පැවත එන්නා වූ ද, නිරන්තරයෙන් සත්‍ය රකින්නා වූද, ගජබා - පරාක්‍රමබාහු දෙමස්සිනෝ වෙමු.”

“අප දෙදෙනා ඇති කරගත් සම්මුතියට දිවි තිබෙනතුරු හානියක් නොකරමු. අප දෙදෙනා අතරින් පළමුව මිය පරලොව යන අයෙකුගේ රාජ්‍යය අනෙක් තැනැත්තාට අයත්ය. මේ රාජ්‍යයන් විනාශ කිරීමට යම් සතුරු රජෙක් නැඟී සිටියහොත් ඒ තැනැත්තා අප දෙදෙනාටම විරුද්ධව නැඟී සිටි කෙනෙකුන් ලෙස සළකා ඔහුට විරුද්ධව කටයුතු කරමු.”

“මේ සම්මුතියට හානි වන ලෙස කටයුතු කරන යම් කෙනෙක් වෙත්ද ඔවුහු තෙරුවන්ගේ ආඥාව කඩකළ අය වෙති. එසේම ඔවුහු අපා ගත වන්නාහ. එබැවින් අප දෙදෙනාම මේ සම්මුතිය කඩ කිරීමට නොපෙළඹෙමු. අනුන්ගේ යහපතම ධනය කොට ඇති අප දෙදෙනාගේ මේ ලියවිල්ල(ගිවිසුම) සඳ-හිරු පවත්නා තුරු ලොව (ලෝකයා) ආරක්ෂා කෙරේවා.”

මෙකී සෙල්ලිපියට කරුණු කිහිපයක් නිසා අනෙකුත් සෙල් ලිපිවලට වඩා වැදගත් ස්ථානයක් හිමිවේ. එනම් බොහෝ සෙල්ලිපි සීමාවී ඇත්තේ විහාරාරාම පූජා කිරීම සඳහාය. එහෙත් මෙම සෙල්ලිපිය රාජකීය සමගි සන්ධානයක් පෙන්නුම් කරයි. මහාවංශ ගත වැදගත් කරුණු සනාථ කරන්නක් වීම මේ සෙල්ලිපියේ තවත් විශේෂත්වයකි.” සමගි සන්ධානය කඩ කළහොත් තුනුරුවන් අණ මැකූවම්හ. නරකයෙන් මුක්ත නොවම්හ” (මුල් සෙල්ලිපිය) යන්නෙන් එදා ආගම ධර්මය රජවරුන්ගේ ජීවිතවලට පවා කොතෙක් දුරට සම්බන්ධව පැවතියේද යන්නට ප්‍රමාණවත් සාධක අන්තර්ගතවීමද තවත් කරුණකි.

සංගමුව විහාරස්ථානය එදා කල්ලක ලෙන, කල්ලක මහා විහාරය, කලු මහ වෙහෙර, කාලවේල විහාරය, මණ්ඩලාරාම විහාරය , මණ්ඩලාරාමක විහාරය ආදී නම්වලින්ද හඳුන්වා ඇත.

මලියදේව මහරහතන් වහන්සේ තුන් පිටකය හදාළේද, විදසුන් වඩා රහත්වූයේද, මණ්ඩලාරාම මහා විහාරයේ (සංගමුව විහාරයේ) බවට ඓතිහාසික සාධක ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය විමල් විජේරත්න මහතා විසින් සම්පාදනය කර ඇති” මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසූ මණ්ඩලාරාම විහාරය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම මේ ස්ථානය අතීතයේ බලකොටුවක් ලෙස භාවිතා කර ඇති බවද පැවසේ.

විහාරයේ ලෙන් කටාරම්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපිවලට අනුව, මෙම විහාරස්ථානය ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් ය. ලෙන් විහාරය තුළ දක්නට ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවා බැව් හෙළිවී තිබේ. මෙම ස්ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගයෙන් පටන්ගෙන පොළොන්නරු යුගය හරහා මහනුවර යුගය දක්වා දිවෙන බැව් එකී යුගවලට අයත් සෙල් ලිපි හා සිතුවම් පරිශීලනය කිරීමෙන් පැහැදිළි වේ.

සංගමු විහාරයේ සමහර ගල්ලෙන් ගෝඨයිම්බර යෝධයා විසින් නිර්මාණය කර ඇති බවටත්, යෝධයාගේ බිරිඳ ගොකරැල්ල ප්‍රදේශයේ විසූ බවටත්, ජනප්‍රවාද පවතී. අද පවා “යෝධ‍ෙග්” නමැති වාසගම ගොකරැල්ල ප්‍රදේශයේ සමහර පවුල් සතුව පවතී.

මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ මෙම විහාරස්ථානයේ සිට අළු විහාරය දක්වා මල් පෙරහරක් ගමන් කළ බැව්ද ජනප්‍රවාදයෙහි එයි. මෙම විහාර භූමියේ ලෙන් විහාරය තුළ ඇති බුද්ධ ප්‍රතිමාව මීට වසර පහළොවකට පමණ පෙර නිධන් හොරුන් විසින් හාරා අලාභහානි සිදුකර ඇති අතර, මේ දක්වා එම ප්‍රතිමාව පිළිසකර කිරීමට පුරාවිද්‍යා බලධාරීන් විසින් කිසිදු පියවරක් ගෙන නැත.

එසේම ලෙන් විහාරයට ඇතුළුවන දොරටුවේ ඇති දුර්ලභ ගණයේ මකර තොරණද ඉරිතලා ගොස් කඩා වැටෙන්නට ආසන්නව පවතී. ගල්කණු, සඳකඩ පහන්, සිරිපතුල්, මුරගල් , ඉපැරණි වැසිකිළි ගල් පුවරු, උපෝසථාගාරයක නටබුන් ගල්ලෙන් සහ ලෙන් විහාරයේ බිතුසිතුවම්ද ආරක්ෂා කරගත යුතු පුරා වස්තු වන නමුත් ඒ පිළිබඳ අදාළ බලධාරින්ගේ අවධානය මෙතෙක් සතුටු විය හැකි පමණට යොමුව ඇති බවක් නොපෙනේ.

සිරිලක පැරැණි පෞඪ ඉතිහාසය මේ ලොවට හඬගා කියන මෙකී පුරාවස්තු අකාලයේ විනාශ වී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමකි.

වත්මන් විහාරාධිපති අලුත්ගම මංගල හිමියන් පවසන අන්දමට අක්කර පනස් දෙකක් පුර‍ා විසිරී පවතින මෙම විහාරස්ථාන භූමිය විධිමත් ගවේෂණයකට ලක් කළහොත් අපේ ප්‍රෞඪ ඉතිහාසයට සාක්ෂි දරන තවත් පුරාවස්තු රැසක් මතු කර ගැනීමට හැකිවනු නොඅනුමානය. ඊට බලධාරීන්ගේ අවධානය යොමු වීම කාලෝචිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා