කිරිබතේ බොදු උරුමය

කිරිබතේ බොදු උරුමය

යහපත් කටයුතු ඇරඹීමේදී කිරිබත පිළියෙල කිරීමද සිරිතකි. එමෙන්ම පිටියෙන් සකසන කැවුම් වැනි රසකැවිලිද ඊට එක්වෙයි. මේ පිළිබඳ පෙල හා අටුවවාවලින් හෙළිවන තොරතුරු සළකන විට අනාදිමත් කලක සිටම ඒවා බොදු හැදියාවට ද මුසුව අප ජීවිතයට එක්වීමද රසවත්ය.

කිරිබත ගැන මුලින්ම විමසීමේදී එකවරම සිහිවන්නේ සුජාතාවගේ පූජාවයි. වෙසක් පසළොස්වක දිනක, කිරි ආහාර පූජාවක් කරනු කැමතිව, ඇය කල් ඇතිවම ‍දෙනුන් දහසක් වැල්මී වනයක කවා, දොවාගත් කිරි දෙනුන් පන්සියයකට පොවා, උන්ගේ කිරි දෙනුන් දෙසිය පණහකටත්, පසුව දෙනුන් දහසයකටත් පොවා, අවසානයේ දෙනුන් අටකගෙන් කිරි ලබාගත්තාය. මෙයින් කිරෙහි දියාරුබව නොමැතිව, මිහිරි හා ඔදවත්බව තහවුරු කෙරෙන අතර, එය “කිරි පෙරළියක්” ලෙස දැක්වේ. වතුර මුසුනොකොට, කිරෙන්ම පිසූබත සිදුහත් බෝසතුන්ට පූජා කරන්නේ තම සුපුරුදු දේවායතනය වූ රුකට අරක්ගත් දේවතාවා පැමිණ ඇතැයි ඕ සිතුවා ය.

කොණ්ඩඤ්ඤ හිමි ගෝතම බුදුරදුන් හමුවෙහි පළමුවෙන්ම දහම් ඇස ලබන්නේ විපස්සී බුදුන්ට ගිතෙල්, මී පැණි, හකුරු යොදා ඇල්සහල් කිරිබත් පුදා කළ පැතුම පරිදිය. “පැනක් නුමුසු කිරෙන්ම පැසවා, පැසෙන අවස්ථාවේදී ගිතෙල්, මී , සකුරු ආදිය බහා කිරිබත් පිසවාලා” යැයි අමතර දේ කිරිබතට එක්කළ යුතු අයුරු ධර්මසේන හිමි පහදන්නේ ලාංකීය පොදුජන අත්දැකීම්ද හැඳිනීමෙනි.

කසීභාරද්වාජ බමුණු සීසෑමේදී, බැමිණියද කිරිබත පිසවා, බඳුන්වල බහා, ගැල් පුරවා ගෙනගියේ පිරිවර කම්කරුවන්ට හා අදාළ කටයුතුවල නියුතු දෙදහස් පන්සියයකට බෙදා දීමටයි. බමුණාද තමා අනුභවකරන තැන හිඳ රන්තලියට කිරිබත පුරවා, ගිතෙල් මී පැණි මුසුව නගුල් යෙදීමේ පූජාවිධි පවත්වන අතර බැමිණිය රන්රිදී ලෝකඩ බඳුන් ගෙනසිටි ගොවීන්ට රන්මුවා හැන්දෙන් කිරිබත බෙදන්නීය. පූජාව අවසන් කළ බමුණාද “මෙතැනට ගිතෙල් දෙන්න, හකුරු දෙන්න” යැයි උපදෙස් දුන් අයුරින් හැ‍ඟෙන්නේ ගිතෙල් හෝ හකුරු රුචිය අනුව කිරිබත සමඟ ගත්බවයි.

සැරියුත් හිමිට ඇතිවූ බඩරිදුමකදී, ගිහිකල මෑණියන් විසින් එළගිතෙල් ආදිය එක්කොට දියනුමුසු කිරිබත සකසා දෙන බව සැරියුත් හිමි පවසන්නේ මුගලන් හිමි ඒ ගැන විමසූ විටයි. “ඔබගේ හෝ මගේ පින්මහිම‍යක් ඇතොත් බෙහෙත් කිරිබත ලැබෙන බව පිළිතුරක් ලෙස මුගලන් හිමි පැවසූහ. මේ ඇසූ රුක් දෙවියෙක් මුගලන් හිමිගේ උපාසක පවුලක වැඩිමහල් පුතු වසඟයට ගෙන, ඔහු මුදාලීමට නම්, සැරියුත් හිමිට එබඳු කිරිබත පූජා කළ යුතු බවට උපදෙස් දෙයි. පසුදින පිඬුපිණිස එහි වැඩි මුගලන් හිමි, කිරිබත ලැබී සැරියුත් හිමිට ගෙනගොස් දුන්නත්, ඒ ආහාරය පිළිබඳව දිවැසින් බැලූ උන්වහන්සේ නිවැරදි දිවි පෙවතට හානි වේ යැයි සිතා වැළඳුවේ නැත. වැරදි ලෙස වචනයෙන් හඟවා ලද ආහාරයක් බුදුවරු ආදී උතුමන් පිළිගන්නේ නැති බවට නාගසේන හිමි මිලිඳු රජුට පැහැදිළි කළේ මේ පුවත දක්වමිනි.

නාගදීපය වැඳීමට යන අතර, ගමක පිඬු හැසිරුන හිමිවරුන් පස්නමක පිළිබඳ වූ ඊට සමාන පුවතකින්ද දැක්වෙන්නේ, විනය උසස් ලෙස සුරැකි බවකි. ඒ ගම ඇසුරුකොට වසන තිස්ස තෙරුන්ට දැනගැනීමට ලැබුණේ කිසිදු අහරක් නොලද බවකි. යා යුතු මංමාවත් තමන් දන්නා බැවින්, ආපසු එනතුරු නැවතී සිටින ලෙසට ඒ හිමිවරුන්ගෙන් ඉල්ලා සිටී. සමීප නිවසක කිරිබත් සකසා තිස්ස තෙරුන් එන මග බලාසිටි උවැසියකගෙන් පාත්‍රය පුරවා ලද ආහාර, ඒ හිමිවරුන්ට දුන්නත්, කුකුසින් නොවළදා සිටින විට , එය දැහැමිව ලද බවට තිස්ස හිමි කරුණු පැහැදිළි කළහ. කිසිදිනක කුසපුරා අහරක් නොලැබූ ලෝසක තෙරුන්ට අනුකම්පාවෙන් මාහැඟි බෙහෙත් කිරිබතක් පිරිනිවනට පත්වන දිනයේදීවත් ලබාදීමට සැරියුත් හිමි කටයුතු කිරීම සංවේදී පුවතකි.

එමෙන්ම සැරියුත් හිමි ඇතුළු මහසඟනට දියනුමුසු කිරිබත් පුදා,වළඳා ඉතිරි කොටසින් අනුභව කිරීමට කාන්තාවකට ඇතිවූ දොළදුක සංසිඳුවාගත් අයුරුද සඳහන් වේ. ලේ අතීසාරය වැළඳුනු විරූපී පංචපාපාගේ පියාට මෙබඳු කිරිබත් බෙහෙත් ලෙස ලබාදිය යුතුවුවත් දිළිඳුබව ඊට හරස්විය. එහෙත් ඇයගේ පහසට වසඟව එම නිවසට වෙස්වලාගෙන රෑ කාලයෙහි පැමිණෙන රජකුගේ උපකාරයෙන් පියාට සුවයත්, මුළු පවුලටම වාසනාවත් උදාකරගැනීමට කිරිබත මහත් උපකාරයක් විය.

රසවත් කිරිබතට මසුරු සිටුවරයකු ආසා කරන්නේ, නගරයේ උප සිටුවරයාද කැටුව රජ මැදුරට යන අදහසින් ඔහු හමුවන විටදී පවුලේ සාමාජිකයන් සමඟ කිරිබත් අනුභව කරමින් සිටියදීය. කෑමට ඇරයුම් ලැබුණත්, එය පිළිනොගන්නේ, කෙදිනක හෝ තමන්ද පෙරළා සත්කාර කළයුතු වුවත්, ඊට තම ධනය වැයවීම සළකා මුවට ගලන කෙළ නිසා ද වූ අපහසුතාව දරා ගනිමිනි. නිවසට පැමිණි පසුවද සිත අරගල කරන්නේ එබඳු කිරිබතක් කෑමටත් ඊට වැයවන ධනයත් ගැන සිතමිනි. පසුව සහල් හුණ්ඩුවක්, කිරිකාලක්, හකුරුටිකක්, බඳුනක් ගෙන රහසේ කැලයට යන්නේ අවැසි දේවල පමණවත් නොදැන ය.

මේ අයුරින් බමුණු - හින්දු සමයෙන්ද සම්මත වූ කිරිබත පිළිබඳව බුදුසමයෙහි සබඳතාවද අපට පෙන්වා දෙන්නේ සරල හා ගුණාත්මක පරිභෝජන රටාවේ එක් පැතිකඩක් ලෙස ආගමික හා සංස්කෘතික වැදගත්කමයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා