විස්ඩ්වයිඩ් වත්තේ කන්නලව්ව අසන්න

විස්ඩ්වයිඩ් වත්තේ කන්නලව්ව අසන්න

ඉහළම තනතුරු දරන්නාගේ සිට පදික වේදිකාවේ වෙළෙඳාමෙන් තම ජීවිතය සරිකර ගන්නා පුංචි මිනිසා දක්වා සියල්ලන්ම සිදුකරන්නේ ජීවන අරගලයකි. ඔවුන්ගේ එකම අරමුණ වී තිබෙන්නේ තමන්ගේත් තම ආදරණීයන්ගේත් ජීවිතය සරුසාර කර ගැනීමය. මේ ජීවන අරගලයේ නියැළෙන්නෝ වෙති. ඔවුහු උදේ හවස රැයය කියා වෙනසක් නොමැතිව ජීවන අරගලයේ නියැළෙති.

මිනිසුන්ගේ එකී ජීවන අරගලයට නැවතීමේ තිත තැබීමට ද ජීවන අරගලයට බාධා කිරීමට ද ඇතැම් විට ඇතැම්හු කටයුතු කරති. එවැනි කනගාටුදායක සිදුවීම් පසුගිය අවුරුදු කිහිපය තුළ කොළඹත්, ඉන් පිටතත් බහුලව සිදුවනු දක්නට ලැබුණි. නාගරික සංවර්ධනය, නැවත ස්ථානගත කිරීම වැනි විවිධාකා‍රයේ අලංකාර වදන් ඒ සඳහා යෙදුණි. එහෙත් එම අලංකාර වචන යට සැඟව තිබුණේ අහිංසකයන්ගේ දුක් කඳුළුය. පීඩිතයන්ගේ අසරණ බවය.

එහෙත් පුංචි මිනිසුන්ගෙන් මනාපය ගෙන ඔවුන්ගේ මිනිසුන් යැයි හඬ නැඟූ දේශපාලනඥයන්ටත් පාලක පන්තියටත් ඒ අහිංසකයන්ගේ හඬ ඇසුණේ නැත. එසේ නැතහොත් ඔවුහු ඒ හඬ නොදුටු ලෙස නොඇසූ ලෙස කටයුතු කළහ. ඒ පුංචි මිනිසුන්ගේ දුක, සුසුම සහ කඳුළ ඉහළට නැඟ ගත් දේශපාලනඥයන්ට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනා දෙයක් වූයේ නැත. ඒ නිසාම ඒ යුගයේ තමන්ගේ ව්‍යාපාරික ස්ථාන, ගේ දොර අහිමි වූ පිරිස අපමණය. මෙලෙස ව්‍යාපාරික ස්ථාන, ගෙවල් දොරවල් අහිමි වූ ඇතැමුන්ට අලුත් තැන්වලින් කඩ, ගෙවල් ලැබුණද ඒ අතරින් කොටසක් අදද සමාජය තුළ අතරමංව සිටිති. ඔවුනට කිසිවකුගෙන්වත් කිසිදු උපකාරයක් හෝ සරණක් ලැබී නැත.

කොළඹ 15 මට්ටක්කුලිය විස්වයිඩ් පාර්ක් හන්දිය ප්‍රදේශයේද මෙවැනි පිරිසක් කල්ගත කරති. එදා මහ මන්දිර නොතැනුවත්, කුමාර ජීවිත ගත නොකළත් ඔවුන්ට කිසිවෙකුට අත නොපා ස්වයංපෝෂිත ජීවිතයක් ගතකිරීමට පුළුවන්කම තිබුණි. මොවුන් සියලු දෙනාම එකල සිය ජීවිතය පවත්වා ගත්තේ විස්ඩ්වයිඩ් පාර්ක් හන්දියේ තම තමනට හැකි පරිදි තනාගත් කඩකාමරවල විවිධ දේ අලෙවි කිරීමෙනි. මේ පුංචි කඩමණ්ඩියේ අලෙවි වූ දේ අතර මාළු, එළවළු මෙන්ම ආහාර ද්‍රව්‍ය ද විය.

මේ කඩවීදියේ වෙළෙඳාම් කළ පිරිස් කියන පරිදි ඔවුන්ට මීට අවුරුදු පහකට පෙර මෙම වෙළෙඳසල්වල වෙ‍ෙළඳාම මඟින් දිනකට රුපියල් තුන්හාරදහසක් තරම් වූ සැලකිය යුතු ආදායමක් ඉපයිය හැකිව තිබුණි. එහෙත් 2010 දී පමණ ඔවුන්ගේ මේ ස්වයංපෝෂිත ආර්ථික රටාවට මහා හෙණ පහරක් වැදුණා වැනි විනාශයක් සිදුවිය. ඔවුන්ට පැමිණි මේ මහා විපත එවක සිටි බලධාරීන් නිර්වචනය කර තිබුණේ නාගරික සංවර්ධනය යන අලංකාර වචනයෙනි.

විස්ඩ්වයිඩ් පාර්ක් කඩපෙළත්, එහි වෙළෙඳාම් කළ වෙළෙඳුන්ගේ ජීවන රටාවත් කුඩුපට්ටම් කරමින් නාගරික සංවර්ධන පිළිවෙත ගමන් කළේ අමානුෂික ආකාරයටය. එදා මෙරට ආණ්ඩු කළ පාලකයනට මේ අහිංසකයන්ගේ දුක් කඳුළු හා සුසුම් තේරුම් ගැනීමට කිසිදු ශක්තියක් තිබුණේ නැත. ඔවුන් කල්පනා කළේ තමන් වෙත ලැබී ඇති අසීමිත බලය උපයෝගී කර ගනිමින් නගරයේ වාසය කළ අහිංසකයන්, සතුන් සීපාවුන් මෙන් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීමටත් ව්‍යාපාරික ස්ථාන, නිවාස ඉවත් කිරීමටත් හැකි බවය. කොම්පඤ්ඤවීදිය, බොරැල්ල, වනාත වැනි ප්‍රදේශවලත් මහා පරිමාණයෙන් සිදුවූයේ අප ඉහත සඳහන් කළ දේය.

විස්ඩ්වයිඩ් පාර්ක් හන්දියේ කඩපිල් දොළහක් ඉවත් කරමින් එදා සිටි බලධාරීන් ‍කළේ ද ඒ දේ මය.

ඉහත කී අකටයුත්ත සිදුවෙද්දී එදා ඒ වෙළෙඳුන් හා ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළකළද බලධාරීහු මෙම විරෝධතා ගැන සුළුවෙන් හෝ තැකීමක් නොකළහ.

ඒ මොහොතේ බලධාරීන් ජනතාවට ලබා දුන් පොරොන්දුව වූයේ නුදුරේදීම ඔවුන්ට ඔවුන් වෙළෙඳාම් කළ ස්ථානවලට ආසන්නයේම විකල්ප ස්ථාන ලබා දෙන බවය. බලධාරීන්ගේ එම පොරොන්දුවට දැන් අවුරුදු පහ සපිරී ඇත. එහෙත් මෙතෙක් ඔවුන්ගේ එම පොරොන්දුව ඉටු වී නැත.

පසුගිය ආණ්ඩුව බලයේ සිටි අන්තිම කාලයේදී මෙම ප්‍රදේශය තුළ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තබා වැඩ ආරම්භ කළ ද එම ඉදිකිරීම් ද මේ වන විට අඩාල වී තිබේ. ප්‍රදේශවාසීන් හා කඩ අහිමි වූවන් කියන ආකාරයට මෙම නව ඉදිකිරීම් සම්පූර්ණ වූ පසු කඩ හිමිවීමට නියමිතව ඇත්තේ ද සහන ලැබිය යුතු කඩ අහිමිවූවන් වෙනුවට වෙනත් පිරිසකටය. සැබෑ තත්ත්වය එය නම් සත්‍ය ලෙසම මෙය බැලූ බැල්මටම අයුක්තියකි. අසාධාරණයකි. එනිසා මේ තත්ත්වය නැවත සලකා බැලීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

විස්ඩ්වයිඩ් පාර්ක් හන්දියේ කඩ අහිමිවූවන් අදත් දුෂ්කරතා මැද තම වෙළෙඳ කටයුතු කරන අතර පොලිසියේ තර්ජන ගර්ජනවලටද මුහුණ දීමට දැන් ඔවුනට සිදු වී තිබේ. මේ හැම දෙයක් නිසාම අවසානයේ පීඩාවට පත්ව සිටින්නේ යුක්තිය අහිමි වූ ජනතාවය.

දශකයකට ආසන්න කාලයක් ජනමතයට ජනතා ඉල්ලුම් පිටුදකිමින් කටයුතු කළ හිතුවක්කාර පාලනය නිමාවීමත් සමග කඩ අහිමි වූ ජනතාව තුළ යළිත් බලාපොරොත්තු ඇති වී තිබේ. ඔවුන් ද ඇතුළත් රටේ බහුතර ජනතාව විසින් පත්කර ගනු ලැබූ නව රජය මඟින් හෝ ඔවුන් වෙත සාධාරණයක් ඉටුවෙනු ඇතැයි බලාපොරොත්තු තබා සිටිති.

දැන් අතීතයට දොස් කීමෙන් ප්‍රතිඵලයක් නැත. කළ යුත්තේ වර්තමානයේ බලය උසුලන බලධාරීන් මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සාධාරණත්වය ඉටුකිරීමය. එතෙක් ජනතාව නෙත් නොසලා බලා සිටිති. බලධාරිනී, මේ ඔබේ වාරයයි.


සාධාරණ විසැඳුමක් ලබා දෙනවා

 පුරපති ඒ. ජේ. එම්. මුසම්මිල්

අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ කොළඹ නගරවැසියන්ට අවශ්‍ය පහසුකම් සැපයීමයි. එදා පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලවත් ලෙස එජාපයට බාධා කරද්දීත් මීට අවුරුදු හතරකට කලින් කොළඹ ජනතාව බහුතර බලයක් අපට ලබා දුන්නා. ඔවුන් එදා උපරිම බලය යෙදුවා අපේ ජයග්‍රහණය වළක්වන්න. එහෙම තිබියදී කොළඹ මිනිස්සු අපිව ජයග්‍රහණය කරවීමට තීරණය කළේ හිටපු පාලකයන් එල්ල කළ පීඩා හා හිංසා නිසයි. ඒ නිසා අප අද කොළඹ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමටත් ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමටත් කටයුතු කරනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා අපට ඒ විදිහටයි උපදෙස් ලබා දී තිබෙන්නේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ කඩකාමර ඉවත් කිරීම වෙලා තිබෙන්නේ අපේ නාගරික පාලනයට පෙර අවධියේයි. එහෙම කියලා අපි වගකීම්වලින් බැහැර වෙලා අත පිසදමා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. මහ නගර සභාව විදිහට අපිට පැවරී ඇති යුතුකම් අප ඉටුකරනවා. මේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමටත් ඔවුන්ගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලබාදීමටත් කටයුතු කරනවා.

මේ ගැටලුව ගැන තවදුරටත් සොයා බැලීමට මා කටයුතු කරනවා. අපේ මූලික ප්‍රතිපත්තිය තමයි මේ කොළඹ ජනතාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලුවලට සාධාරණ නිරීක්ෂණයක් කර ඔවුන්ට පුරවැසි වටිනාකමක් ලබාදීම.


‍අපේ තාත්තලත් හිටියේ මෙතන

-සරත් ප්‍රියංකර රුද්‍රිගු

අපේ තාත්තල තමයි මේ තැන්වල මුලින්ම බිස්නස් කළේ. අද අපි ලොකු මහත්වෙලා ඉන්නේ මේ තැන්වල ව්‍යාපාර කරලා. මට මතකයි අපි පුංචි කාලෙදිත් තාත්තලා බිස්නස් කරනවා. එදා ස්ථිර ගොඩනැගිලිවල බිස්නස් කළේ. පස්සෙ කාලෙක තමයි ආණ්ඩුවේ මහත්වරු ඇවිත් අපේ කඩකාමර කඩා ඉවත් කළේ.

අද අපි දුෂ්කරතා රැසක් මැද තමයි ජීවත් වෙන්නේ. අපිත් කැමැතියි එදා වගේ ලස්සනට පිරිසිදුවට බිස්නස් එක කරගෙන යන්න. මේ විදිහේ පාරේ තැනින් තැන තියාගෙන කෑම ජාති, එළවළු විකුණද්දී සමහරු අපේ තැන්වලට එන්නේ නැහැ. අද ගොඩක් දුරට බිස්නස් වැටිලා තිබෙන්නේ. එදා අපිට තිබූ ආර්ථික තත්ත්වය නැහැ. මේකට මූලික කාරණය වුණේ හිටපු තැන්වලින් අපිව එළවා දැමීමයි.


සාධාරණය ඉටුකරන්න

මල්ලිකා

මේ තැන්වල අපි එදා හොඳට බිස්නස් කළා. ඒත් මේ වෙද්දි අපි සම්පූර්ණයෙන්ම අමාරුවේ වැටිලා ඉන්නේ. පිට්ටනිය ළඟ ගොඩනැගිල්ලක් හදන්න මුල්ගල් තිබ්බා, ඒත් අද වෙනකම් මෙහි වැඩ හරියාකාරව සිදුකෙරෙන්නේ නැහැ.

මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙන්න කොච්චර කාලයක් යයිද කියලා කියන්න දන්නේ දෙයියෝ විතරයි. මම සියලු බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අපිට දැන්වත් සාධාරණයක් ඉටුකරන්න කියලා.


අවුරුදු පහක් අපි පාරේ

ඩබ්ලිව්. ජෙනාඩ්

මම අවුරුදු විසි පහකට කිට්ටු කාලයක් මෙතැන ව්‍යාපාර කටයුතු කළා. පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලයේදී තමයි අපිට අපි වෙළෙඳාම් කළ තැන් අහිමි වුණේ. එදා ඉඳන් අපි නගර සභාවට කීවා. නාගරික සංවර්ධන අධිකාරියට කතා කළා. අපේ දුක, අපේ ප්‍රශ්න පැහැදිලි කළා. ඒත් මේ කිසිම කෙනෙක් අපිට උත්තරයක් දුන්නේ නැහැ. දැන් අපි අවුරුදු පහක් තිස්සේ මහ පාරේ වෙළෙඳාම් කරනවා.

පොලිසිය එළවද්දී දුවනවා. වහිද්දි දුවනවා. අපි අපේ දරු පැටව් වෙනුවෙන් තමයි මේ දුක විඳින්නේ. අපි හිඟන්නොවත්, පුලන්නොවත් නොවෙයි. කාටවත් අත නොපා දෙයියනේ කියලා බිස්නස් එකක් කරලා ජීවත්වුණේ. අද වෙද්දී ඒකත් නැහැ. ඇත්තටම අද අපි අසරණයි. ‍


කඩ දෙනවා කීවා, තාමත් නැහැ

නිකලස් ප්‍රනාන්දු

එදා අපිට බලධාරීන් කීවේ ඔයාලා බයවෙන්න එපා. අපි ඔයාලව බලාගන්නවා කියලා. කඩ කඩද්දී ඒ අය කීවා ස්ථිර කඩ කාමර හදලා දෙනවා කියලා. අද ඔයගොල්ලො එද්දි දැක්කනේ ‍එහෙම දෙයක් වෙලා නැහැ කියලා. අපි බලය තියෙන හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපිට තවදුරටත් මහ පාරේ ඉන්න බැහැ දැන්වත් අපිට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි.

අපි අවුරුදු පහක් පුරාම එක එක අයට රැවටුණා. අපි ආයෙත් රැවටෙන්නේ නැහැ. අපිට දැන් ආරංචි වෙනවා අලුතින් හදන ගොඩනැගිල්ලේ අපට ඉඩක් නැහැ කියලා. ටෙන්ඩර් දමලා ලොකු අයට මේ කඩ දුන්නොත් අපි සදාකාලිකවම මහ පාරේ තමයි. මේ දුක බලන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා