සංගීත දිවියේ දිගු ගමනක් යන සිතාරා

සංගීත දිවියේ දිගු ගමනක් යන සිතාරා

සංගීතය යනු, මිහිරි කලා අංගයකි. සංගීත ලොවෙන් ඉදිරියට යාමට අද බොහෝ දෙනා පෙරුම් පුරමින් සිටී.එලෙස සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි කෙනෙකි, සිතාරා මධුෂානි උඩුවන.

සිතාරා,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අධ්‍යයන අංශයේ 3වැනි වසරේ ශිෂ්‍යාවකි. සංගීත විෂය මැනවින් ප්‍රගුණ කළ ඈ සංගීත විශාරදවරියක් ද වේ.

කුඩා කල පටන්ම සංගීයට ඇලුම් කළ ඇය හපන් පැදුර, නෙළුම් විල, ළහිරු මඬල වැනි වැඩසටහන්වල ගායන හා නිවේදන කටයුතු සඳහා ද සහභාගී වී තිබේ.

ඇ‍ගේ සංගීත දිවිය ඇරැඹී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙනි. ඈ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ “ඒ” ශ්‍රේණියේ ගායිකාවකි. ගුවන්විදුලි සංස්ථාවේ දමිල නාලිකාවේ “ටෙන්ට්‍රල් singing star” බවට පත්වීම සිතාරා ලැබූ සුවිශේෂී ජයකි. උත්තර භාරතීය රාගධාරී සංගීත අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ද හිමිකර ගැනීමට සිතාරා සමත් විය.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 4 වැනි අදියරට සහභාගී වී එහි අවසන් 18 දෙනා අතරට තේරී පත් වූ සිතාරා, “කවීතා” තරගයෙන් දෙවැනි ස්ථානය ද දිනා ඇත.

සිතාරා තමන්ගේම ගීත කිහිපයක් මේ වන විටත් පටිගත කර අවසන්ය.

ඉදිරියේ දී තිරගත වීමට නියමිත “ඩිවෝස්’ චිත්‍රපටයේ යුග ගීතයකට ද ඇය තම දායකත්වය සපයා තිබේ. ඈ ටෙලිනාට්‍ය තේමා ගීත ගායනයට ද එක් වී ඇත.

ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයෙන් හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ සිතාරා තමාට බොහෝ සමීප දහම් පාසලක් වන ස්වර්ණපාලී ධර්ම විද්‍යාලයේ පාලි භාෂාව උගන්වමින් සිටී.

සිතාරාට සංගීත දිවියේ දිගු ගමනක් පැමිණෙන්නට ගුරුහරුකම් දී තිබෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති විශාරද සන්ධ්‍යා කාන්ති ඉලයප්පෙරුම ගුරුතුමියයි. ඇය තම ගුරුතුමියව සිහිපත් කරන්නේ මහත් භක්තියෙනි.

එසේම රෝහණ වීරසිංහ මහතා ද ඇගේ සංගීත දිවියට අතහිත දුන් ගුරුතුමෙකි.

සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා තමන්ට උදව් උපකාර කළ සියලු දෙනාට තමා ස්තූතිවන්ත වන බව සිතාරා පැවසුවාය.

සංගීත දිවියෙන් ඉදිරියටත් දිගු ගමනක් යාම සිතාරාගේ බලාපොරොත්තුවයි. ඇගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා යි ප්‍රාර්ථනා කරමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා