නාට්‍යයකට ජනප්‍රිය චරිත ඕන නෑ

නාට්‍යයකට ජනප්‍රිය චරිත ඕන නෑ

- රවීන්ද්‍ර ආරියරත්න

චරිතෙ හොරු අරන්, බල්ලොත් එක්ක බෑ නාට්‍ය වේදිකාවට ගෙන ආ රවීන්ද්‍ර ආරියරත්නයන්ගේ නවතම වේදිකා නාට්‍ය මිට නැති කුඩ ලෙස නම් කොට තබේ. මැයි 23 ‍ප.ව. 03.30ට සහ 06.45 ටවර් රඟහලෙන් ගමන් අරඹන මිට නැති කුඩ ගැන කළ කතා බහකි මේ.

• ඔබ ඇයි මේ වේලාවේ ‘මිට නැති කුඩ’ හැදුවේ?

‘මං ‘බල්ලොත් එක්ක බෑ’ කළේ 2009දී. ඊටත් අවුරදු 5කට පස්සේ තමයි ‘චරිතෙ හොරු අරන්’ කළේ.මේ නාට්‍ය දෙකටම අදටත් ප්‍රේක්ෂක ඉල්ලීම් බහුල බව ඇත්තයි.නමුත් මට නාට්‍යයක පිටපතක් ලියන්නට උත්තේජනයක් ලැබෙන මොහොතේ මං ඒ දේ කරනවා. ඒ විදියට එක් වරම නොවෙයි අවුරුදු ගණනාවක් තිස්සේම මගේ සිතේ ගොඩනැඟිච්ච කතාවක් තමයි මිට නැති කුඩ.

මගේ කලින් නාට්‍යවලට බොහෝ දර්ශනවාර ලැබුණත් ඒවායේ නළු නිළියන්ගේ අවිවේකය නිසා ඒ සියල්ල බාර ගත නොහැකි තත්ත්වයක් මෑත කාලයේ දී මතුවුණා. මේ කාරණයත් සමඟ මේ නිර්මාණයත් වේදිකාවට ‍ගේන්නයි මං අදහස් කළේ. අනෙක තමයි පසුගිය කාලයෙන් වැඩිමනක්ම මං වැය කළේ මගේ පශ්චාත් උපාධි නිබන්ධනයට. ඊට පාදක කරගත්තේත් ජනශ්‍රැති පර්යේෂණ. ඒ හරහා මිට නැති කුඩ නාට්‍යය මගේ සිතේ නිරන්තරයෙන් රඟ දැක්වුණා.

ලෝක නාට්‍ය කලාව ගත්තත් අපේම සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, මනෝරත්නයන් ආදීන් උදාහරණයට ගත්තත් ඔවුන් ජනශ්‍රැති තුළින් පෝෂණය ලබා කළ නිර්මාණ ප්‍රබලයි. මං මේ හුදෙක් සම්ප්‍රදායික ජන අංශයම නොව, ඊට නූතන සම්ප්‍රදායත් මුසුකරමින් තමයි මේ අලුත් නාට්‍යය කළේ.

• නාට්‍යයේ නමේ විශේෂත්වය?

නාට්‍යක් වගේම කුමන අලුත් නිර්මාණයකත් අපූර්ව බවක් තිබිය යුතු වෙනවා. මං ඒ අවධානයට මගේ කලින් ‘බල්ලොත් එක්ක බෑ’ වගේ නිර්මාණවලදී ඒවාටත් යොමුළා. ඒ නම් තුළම යම්කිසි යටිපෙළක් ප්‍රේක්ෂකයාට කියවා ගැනීමට ඉදිරිපත් කෙරෙනවා. මගේ ඒ නිර්මාණ වටා කලින් ප්‍රේක්ෂකයින් බහුතරයක් එකතු වුණානේ. ඒ ආකර්ෂණයම මං ‘මිට නැති කුඩවලටත්’ බලාපොරොත්තු වෙනවා.

• මේ නාට්‍යයත් ප්‍රභසනයක්ද?

මං ප්‍රභසනයක් ලියනවා කියලා නාට්‍ය ලියලා නැහැ. මං නිදහසේ පෙළ ලියාගෙන යනවා. ඉතින් ඒ ඇතුළේ උපහාසාත්මක දෙබස් තියෙන්න පුළුවන්. සමහර ජවනිකාවලින් වැඩිපුර මතුවුණේත් ඒ ගතිය වෙන්නත් බැරි නැහැ. ‘කැලණි පාලම’, ‘නරි බෑණා’ නාට්‍යවලත් ප්‍රභසනය තිබුණේ නැතිද? නමුත් ප්‍රභසනය ඒවාට නරක දෙයක් වුණේ නැහැනේ.

පසුගිය කාලේ අපි හුඟක් දැක්කේ හුඟක්ම හිනායන දේවල්මනේ. පෙරේදා එක පැත්තක ඉඳන් කතාකළ දේශපාලනඥයාම ඊයේ වෙනත් පැත්තකට ගිහින් කතා කළේ ඒ වගේ දේවල්නෙ.ම‍ගේ චරිතෙ හොරු අනේ නාට්‍යයේ දී හමුවෙන නගරාධිපතිටත් හීනෙන් ඇවිදලා කළ දේවල්ටත් කතා කළේ මොනවාද කියලාවත් පහුව දා මතක තිබුණේ නැහැ. මං කියන්නේ අපේ කෝලම් සම්ප්‍රදයේදීත් හාස්‍යයට ලක් කළේ ඒ තුළින් සමාජයේ ප්‍රශ්න කතා කතාකරන්නයි. ඒ ප්‍රශ්න කතාකරන ශෛලියේ දී කෙනෙක් තවත් නිර්මාණකරුවකුට වඩා වෙනස් වෙන්න පුළුවන්.

පෙන්වන දර්ශනවාර ගණනින් නාට්‍යයක ගුණාත්මක බව මතු නොවන බවට විචාර ‍තියෙනවා? හොඳ නැතිනම් සමහරු එකම නාට්‍ය දහ පහළොස් වතාව බලන්න ඒවිද? ඔවුන් මුදල් ගෙවලා ඒ විදියට එන්නේ ම නාට්‍යය ඔවුනට දැනුණු නිසයි. අනෙක තමයි ඇඩ්වර්ටයිසින්වලින් නාට්‍යයක් දුවවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. උපරිම වාර සීයක් ඒ විදියට දුවවයි. නාට්‍යයක් සාර්ථකව පෙන්වන්න හොඳ සංවිධායකවරයකුගේ දායකත්වය අවශ්‍යම වෙනවා කියලාත් නොකියාම බැහැ. ;

මගේ ‍ ‘බල්ලොත් එක්ක බෑ’ නාට්‍යය දර්ශන වාර ගණන සාමාන්‍යයෙන් 650 කිව්වත් ඇත්තටම ඒ ප්‍රමාණය ඊට වඩා වැඩියි කියලා මං ගැන කතා කරනවා නම් මට කියන්න පුළුවන්. ඒ නාට්‍යය 10 -15 වතාව බැලූ ප්‍රේක්ෂකයින්වත් මට හමුවෙලා තියෙනවා. මං කියන්නේ කෙනෙක් නාට්‍යයක් දිව්වා කියලා කියූ පමණින් ඒක එහෙමම ද කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ‘ස’ ප්‍රංගසය වාර 1450ක් පවත්වා තිබුණත් නිකමට කෙනකුට කියද්දී ඒ වාරගණන පහළොස් දාහක් කියලා කිව්වත් මනමේ, සිංහබාහු,හුණුවටයේ කතාව වගේ නාට්‍යය සම්බන්ධයෙන් ඒ වගේ දර්ශනවාර පිළිබඳ අතිශයෝක්තියෙන් කතා කළත් ඒ තරම් අවුලක් නෙවෙයි කියලා හිතන්න පුළුවන් වෙන්නේ ඒවා මිනිස්සු අතරට ගිය නිසානේ.

• මේ නාට්‍යයේ දී ඔබ විශේෂයෙන් අවධානය යොමු කළේ?

අද නළුනිළියන්ව බලන්න නාට්‍යාගාරයට එන ප්‍රේක්ෂකයන්ව මං දැකලා නැහැ. ඉතින් ජනප්‍රිය මුහුණු මත වේදිකාව පවත්වාගෙන යාමේ කිසිම වුවමනාවක් අද නෑ. මට ඕනෑ කළේ දක්ෂ පිරිසක්. ‘චරන්දාස්’ ඒ වගේ නාට්‍ය නිර්මාණයකට හොඳ උදාහරණයක්.ජනප්‍රිය කවුරුත්ම අපි ඒ නාට්‍යයේ චරිතවල දුටුවේ නැතත් ඒ කාරණය නාට්‍යයේ සාර්ථකත්වයට බලපෑවේ නෑ. ඉතින් මං හිතන්නේ නාට්‍යයකට ජනප්‍රිය චරිත අත්‍යවශ්‍ය නෑ. නමුත් ඔවුන් සිටීම ආලෝකයක් විදියට සළකනවා. රංගන දායකත්වයෙන් එකතුවන ප්‍රසාද් සූරියආරච්චි, හෂිනිකා කරලියද්ද, වික්‍රම සෙනෙවිරත්ත, ප්‍රේමකුමාර දසනායක, ප්‍රදීප් ඇරෑගම ඇතුළු පිරිසෙන් බහුතරයක් අපිට පුංචි තිරයේ, සිනමාවේ එතරම් දකින්න නැහැ. ඒත් ඒ කාරණය ඔවුන්ගේ අතිදක්ෂ රංග කෞෂල්‍යයට බාධාවක් වෙලා නෑ. මිට නැති කුඩ නාට්‍යයේ දී සංගීත අධ්‍යක්ෂණයට ප්‍රබල ස්ථානයක් හිමිවෙනවා. සඳගිරි අධිකාරි ඒ කාර්යය ඉටුකරනවා. ඔහු ඇතුළු දක්ෂතම කාර්මික ශිල්පීන් පිරිසකුත් මිට නැති කුඩ වටා එක්රොක් වී සිටිනවා. මේ නාට්‍යයේ නිෂ්පාදකවරයා සුගත් ලයනල් ජයසිංහයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා