ප්‍රේක්ෂකයෝ දැන් අලුත් දේවල් හොයනවා

ප්‍රේක්ෂකයෝ දැන් අලුත් දේවල් හොයනවා

- සම්පත් ශ්‍රී රෝෂන්

මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ල දවසක නුගේගොඩ හන්දියේ පුංචි කඩේක ප්ලේන්ටියක් ගහමින් මමයි සම්පත් රෝෂනුයි බොහෝවෙලාවක් කතාකරමින් උන්නා. “මට හොරර් ෆිල්ම් එකක් කරන්න ඕන කවදාහරි” මහ වැස්ස තුරල්වෙලා බෝගහ යටට ඇවිදින් එද්දි සම්පත් කිව්ව ඒ වචන පේළිය අදටත් මට හොඳටම මතකයි. කාලය ගෙවිල ගියා. හොරර් ‍ෆිල්ම් එකක් හදනව කිව්ව රෝෂන් මට හමුවුණේ ජූලියා එක්ක. ඒ වනවිට ‘ජීවිතේ ලස්සනයි’ ටෙලිනාට්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් එක්ක අපේ ආලින්දයට ආපු රෝෂන්ගෙ අධ්‍යක්ෂණයේ නිර්මාණශීලී හැඩතල ‘ජූලියා’ හරහා සියලුම සිනමා ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට පුළුවන් වුණා. ඉන් පස‍්සෙ කිහිපවතාවක්ම රෝෂන් හමුවුණත් මට ඔහුගෙ පළමු සිනමා සිහිනය ගැන කවදාවත් ඇහුවෙ නැහැ. ඒත් රෝෂන් මට ළඟදි කතා කළේ ඔහුගෙ අලුත්ම සිනමා නිර්මාණය ගැන කියන්න. ඒකෙ නම ‘එමලි’. අවුරුදු ගාණකට ඉස්සෙල්ල සම්පත් ශ්‍රී රෝෂන් මට කිව්ව චිත්‍රපටය ඔහු හදන්න පටන් අරන්.

අපි ආයෙමත් කතාබහකට හමුවුණා. මීට වසර ගාණකට ඉහත්තාවෙ හමුවුණ තැන බෝගහ තිබුණට කඩේනං තිබුණෙ නැහැ. අපි අලුත් කතාවට මුල පිරුවා.

• රෝෂන්... කොහොමද ‘එමලි’ එක්ක ගෙවෙන ජීවිතේ.

කාලයක් තිස්සෙ සැලසුම් කරමින් උන් බලාපොරොත්තුවක් තමයි ‘එමලි’ හරහා එළිදකින්නෙ. කලාවට ආපු දවස්වල ඉඳලම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න මං හොඳ ස්ව අධ්‍යයනයක යෙදුණා. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදියට මම අධ්‍යක්ෂවරයෙක් වුණා. අද්භූතජනක සිදුවීම් සමුදායකින් පිරුණු චිත්‍රපටයක් කරන්න හිතේ තිබුණ බලාපොරොත්තුව තමයි එමලි හරහා ඉටුකරගැනීමට මග හැදිල තිබෙන්නෙ.

මේ දිනවල එමලි එක්ක ගෙවන ජීවිතේ අතිසුන්දරයි. චිත්‍රපටයේ මූලික සැලසුම් එක්ක තමයි මේ දින කිහිපය ගෙවෙන්නෙ.

• මේ චිත්‍රපටයේ කතාව මොනවගේද?

රෝසි නම් තරුණිය මිලදී ගන්නා මෝටර් රථයක සිදුවන අද්භූත සිදුවීම් මාලාව හරහා තමයි මේ චිත්‍රපටය දිවෙන්නෙ. මේ කතාව තත්ත්පරයෙන් තත්ත්පරයට කුතුහලය දනවන අද්භූත කතාවක්. නමුත් මේ කතාව ඉතාමත් රසවත් විඳිය හැකි කතාන්දරයක්.

• මේ චිත්‍රපටය රූගතවෙන්නෙ යුරෝපයේ.

ඔව්... පළමුවෙන්ම මේ පිටපත මගේ අතට ලැබිල මොහොතක් ගතවෙද්දි සිතින් නතරවුණේ විදේශ රටවල දර්ශනතලවල. රිහාන් රවින්ද්‍ර රචනාකළ මෙම පිටපත බොහොම රසවත්. ඒ වගේම මේ පිටපත ඉල්ලා සිටින්නේ යුරෝපයේ දර්ශන තල. ඒ නිසා චිත්‍රපටය යුරෝපයේ රූගත කිරීමට තීරණය ගත්තේ සාමූහික සාකච්ඡාවකින්. ඒ වගේම ලෝකයේ අති දියුණු තාක්ෂණික ක්‍රමවේද මෙම චිත්‍රපටයට යොදාගන්න අපට උවමනාවුණා. මේ අද්භූත දර්ශනවලට උපරිම ලෙස තාක්ෂණය යොදාගන්න අපි තීරණය කළ නිසාම ඒ සියලු පහසුකම් ලබාගත හැකි රටවලට යාමට අපට සිදුවෙනවා.

• ඔබ ජූලියා රූගත කළෙත් පිටරට

ඔව්... චිත්‍රපටය රූගත කරන්න ලංකාවේ දර්ශනතල ඕනෑ තරම් තිබෙනවා. ඒත් ප්‍රේක්ෂකයාට අලුත්ම අත්දැකීමක් ලබාදෙන්නට මම නිතර වෙහෙසෙනවා. මේ චිත්‍රපටයත් විදෙස් රටවල රූගතකරන්නට සූදානම් කළේ ඒ නිසාමයි.

• ජූලියා හි ජනප්‍රියත්වයට ගීතවලින් ලැබුණෙ විශාල දායකත්වයක්. එමලි වෙනුවෙන් ඒ ක්‍රමවේදය භාවිත කරල තියෙනවද?

අපි උදාහරණයක් විදියට ඉන්දියාව ගනිමු. ඉන්දියාවේ නිපදවෙන ප්‍රේමණීය චිත්‍රපටවලට අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉතාමත් කැමැතියි. ඒ වගේම ඉන්දියාවෙත් හොරර් ෆිල්ම් හැදෙනවා. ඒ චිත්‍රපටත් ප්‍රේමණීය චිත්‍රපට තරමටම ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ ලංකාවෙ හොරර් ෆිල්ම් ජනතාවට දැනෙන ආකාරයට හදන්න. ඒ කටයුත්තට අලංකාර ගීත, ආකර්ෂණීය රූපරාමු වගේම ඉහළම තාක්ෂණයත් යොදාගන්නවා. මේ චිත්‍රපටයේත් ගීත ඇතුළත්වෙනවා.

• ජූලියා හරහා ඔබ චරිත් අබේසිංහට ප්‍රධාන නළු භූමිකාව ලබාදුන්නා. මේ චිත්‍රපටයේ ඔබ රිදීතිරයට ගෙනෙන තරුණයා කවුද?

ඔහු අචල වල්පොල. රිදී තිරයට අලුත් මුහුණක් වුණත් අචල ටෙලිනාට්‍ය කිහිපයක රඟපාල තිබෙනවා. පිටපත කියවද්දි මට මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයකට අචලව ඔළුවට ආවා. ඇත්තටම අචල කියන්නෙ මා හඳුනාගත් හොඳ නළුවෙක් වගේම කල්‍යාණ මිත්‍රයෙක්. මං කවදාවත් හිතවත්කම්වලට චරිත දෙන්නෙ නැහැ. මට අවශ්‍ය චරිතයට සාධාරණයක් කරන නළුවන් නිළියන් පමණයි.

නමුත් ඔබ ජූලියා ප්‍රධාන චරිතය නදීෂා හේමමාලිත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චාරිතයට තෝරාගන්නවා.

ඔව්... මේ පිටපතේ ඉන්න තරුණියට චිත්‍රපටය තුළ බොහෝ දේ කරන්නට තිබෙනවා. ඇය ආත්මයක් වැහුණු අසාමාන්‍ය තරුණියක්. ඒනිසාම තමයි මේ චරිතයට නදීෂා තෝරාගත්තෙ. ලංකාවෙ නිළියන් ඕනෑතරම් ඉන්නවා. ඒ අය ඉතාමත් දක්ෂයි. නමුත් මට චරිතයට අවශ්‍ය කෙනා ඉන්නෙ නදීෂා ළඟ‍‍.

• කවදද එමලි ඇරඹෙන්නෙ.

ඇත්තටම මූලික සැලසුම් මේ වනවිට නිම වෙමින් පවතිනවා. ලබන මාසයේ අපි චිත්‍රපටයේ රූගතකිරීම් අරඹන්න සූදානම්.

• ලංකාවෙ ප්‍රේක්ෂකයා හොරර් ෆිල්ම් එකක් බලන්න පෙළගැහෙයිද?

මෙහෙමයි... හොඳ දේ බලන්න ලංකාවෙ ප්‍රේක්ෂකයා ඉතාමත් කැමැතියි. ඒ නිසා උපරිම හොඳ දේ ඉදිරිපත් කරන්න අපි වෙහෙසෙනවා. එමලි කියන්නෙ උපරිම දේ කරන්න හදන චිත්‍රපටයක්. ඒ නිසා ලංකාවේ ප්‍රේක්ෂකයා මේ අලුත්ම අත්දැකීමට එකතුවෙයි‍ කියල අපට විශ්වාසයි.

• අවසානයේ ඔබේ කණ්ඩායම ගැන මතක් කරමු.

නිෂ්පාදනයෙන් අපට ශක්තියක් වෙන්නෙ අමිල ඉන්දික මනම්පේරි, කැමරාකරණය රංග එස් බණ්ඩාර, අංග රචනය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය ප්‍රවීන් ජයරත්න, සංගීතය රංග දසනායක, ගීත රචනය ෂෙහාන් ගලහිටියාව ඒ වගේම තවත් බොහෝ දෙනෙක් මේ කටයුත්ත පිටුපස ඉන්නවා. ඒ ශක්තියෙන් තමයි එමලි ගොඩනැගෙන්නෙ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා