ආහාර ද්‍රව්‍ය 5ක මිල අඩු කරයි

* හාල් * බී ලූනු * අල * සැමන් * හාල්මැස්සන්

ආහාර ද්‍රව්‍ය 5ක මිල අඩු කරයි

සතොස-ආර්ථික මධ්‍යස්ථාන හා සමූපෙන් අද සිට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද සිට අඩු කිරීමට රජය තීරණය කර තිබේ. හාල්, බී ලූනු, සැමන්, හාල්මැස්සන් සහ අල එසේ අඩු මිලට ලබාගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙයි. මෙම භාණ්ඩ සතොස ආර්ථික මධ්‍යස්ථාන හා සමුපකාර හරහා පහත සඳහන් මිලට ලබා ගත හැකිය. මේ අතර සහන මිලට සහල් සැපයීම සඳහා මෙට්‍රික් ටොන් 300ක් රැගත් ලොරි 20ක් ඊයේ (29) කොළඹ ප්‍රධාන ස. තො. ස. ගබඩාව වෙත ගෙනවිත් තිබිණි.

ඒවා අද සිට වෙළෙඳපොළෙන් සහන මිලට ලබා ගැනීමට ඊයේ සිටම බෙදා හැරිණි. සම්බා සහල් රුපියල් 63, නාඩු 58 - 50, රතු කැකුලු 45 - 56, සුදු කැකුලු 53 - 50, බාස්මති 80 – 85, අල 115 - සැමන් 180 - හාල්මැස්සන් 275 - ලූනු 120.වෙළෙඳ පළේ සහල් මිල ඉහළ යන අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය යල කන්නයෙන් ප්‍රථමවරට ලබාගත් වී සංචිතයෙන් මේ සහල් තොග වෙළඳ පළට සපයයි.

අවශ්‍ය තරම් සහල් අද සිට වෙළඳ පොළෙන් ලබාගැනීමට පහසුකම් සලසා තිබියදී අතරමැදි වෙළෙඳුන් වෙළෙඳපළේ වැඩි මිලට සහල් විකුණුවහොත් සහල්වලට පාලන මිලක් නියම කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. වෙළෙඳපළේ බඩු හිඟයක් මවා පෙන්නා ලූනු, අල, පරිප්පු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පෞද්ගලික වෙළඳුන් විසින් ඉහළ දමා තිබේ.

මේ මිල ගණන්වලට වඩා වැඩි මිලට වෙළෙඳුන් එම ද්‍රව්‍ය අලෙවි කළහොත් තවදුරටත් විදේශ රටවලින් තවතවත් එම ද්‍රව්‍ය ගෙනවිත් උත්සව සමයේ පාරිභෝගිකයාට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට රජය පියවර ගෙන තිබේ.

උත්සව සමයේ පාරිභෝගිකයාට අවශ්‍ය තරම් භාණ්ඩ ලබාගැනීමට සහන සපයන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා