ලක්ෂ 15ට වඩා වටිනා මෝදක අත්අඩංගුවට

ලක්ෂ 15ට වඩා වටිනා මෝදක අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක මත් ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් වලදී හසු වූ විශාලතම මදන මෝදක තොගය අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය ඊයේ (29) දා සමත් විය. ඖෂධ වෙළෙඳාමක් මුවාවෙන් රට පුරා බෙදා හැර ඇති මෙම මෝදක හෙට්ටිමුල්ලේ ප්‍රදේශයේ බෙදා හරින අවස්ථාවේ දී පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

පසුව ඒ හරහා දිගින් දිගටම කළ පරීක්ෂණ හමුවේ උඩවලවේ කොළඹගේආර නම් ප්‍රදේශයේ වූ විවිධ ඖෂධ කර්මාන්ත ශාලාවකින් මෙම මෝදක තොගය අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 15ට වඩා අධික වටිනාකමකින් යුතු මෙම මෝදක තොගයේ කුඩා පැකට් තිස් පන්දාහක් පමණ තිබූ බව බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී උප පොලිස් පරීක්ෂක උදයංග මහතා ප්‍රකාශ කෙළේ ය.

මෙම මෙහෙයුම සිදු කිරීමේ දී පොලිසිය විසින් කර්මාන්ත ශාලාවේ දුරකථන අංකය සොයා එයට ඇමැතුමක් ලබා දී මෝදක මිලට ලබා ගත හැකි දැයි විමසා ඇත. එවිට රුපියල් හැට පන්දහකට මෝදක පැකට් 100ක් ලබා දිය හැකි බවට ජාවාරම්කරුවන් පවසා ඇත. රුපියල් ලක්ෂයක මුදලක් සොයාගත් පොලිසිය එසැණින් තම වැටලීමේ කටයුතු සඳහා උඩවලව බලා පිටත් විය.

මත් ද්‍රව්‍ය මිලට ගැනීමට යන මුවාවෙන් බේරුවල පොලිසිය විසින් සිදු කළ මෙම මෙහෙයුමේ දී පුද්ගලයන් තිදෙනකු සමඟ වෑන් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ඊයේ (30) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා ප්‍රකාශ කෙළේ ය.

මෙම මෙහෙයුම සඳහා පො. සැ මනෝජ්, පො. සැ ජයන්ත කා. පො.සැ. රූපවතී, පො. කො. පුබුදු, කා. පො. කො. ගමගේ, නිමන්තිකා, පො. අ. ස නිලන්ත යන නිලධාරීහු ද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා