ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු නවදෙනාට අය වැයෙන් මුදල් වෙන් කළා

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු නවදෙනාට අය වැයෙන් මුදල් වෙන් කළා

ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස විපක්ෂ නායකට අගමැති කියයි

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේ ය. එම ඇමැතිවරුන්ගේ වැඩ කටයුතුවලට අවශ්‍ය මුදල් අය – වැයේ වෙන් කර ඇති බව ප්‍රකාශ කළ අගමැතිවරයා විපක්ෂ නායකයා එය ප්‍රශ්නයක් කර ගත යුතු නැතැයි ද කීය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය පිළිබඳව සහ ඔවුන්ගේ වැඩකටයුතු වෙනුවෙන් මුදල් වෙන් කර නැති බව ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ලෙස පත් කර සිටින්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පිරිසක් බවත්, එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලිව සඳහන් වන බවත් ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා මුදල් වෙන් කර ඇති බවත් කීය.

අය – වැය කාරක සභා විවාදය අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශවලට මුදල් වෙන් කර නැති බැවින් විවාදය ඉදිරියට ගෙන යා නොහැකි බව කීය. අමාත්‍යාංශ නවයට මුදල් වෙන් කර නොමැති බව පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ගෙවන ආකාරය සහ විෂයයන් හෙළි කළ යුතු බව ද පැවැසීය.

නව රාජකාරි ගැසට් පත්‍රයේ තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය. මෙහි දී රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නවයට මුදල් වෙන්කර දී නොමැති බව දිගින් දිගට ම ප්‍රකාශ කළේ ය. මෙහි දී අදහස් දැක් වූ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය ගැසට් පත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වන බව කීය.

වියදම් ශීර්ෂ එකේ සිට විසි දෙක දක්වා සභා ගත කළ ශිර්ෂයන්හි මූලධන හා පුනරාවර්ථන වියදම් වෙනම දන්වා තිබේ. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් හා ඔවුන්ගේ පුනරාවර්ථන හා මූල්‍ය ධන වියදම් ශිර්ෂ තුන යටතේ සම්පූර්ණයෙන් දක්වා තිබේ යැයි කී සභානායකවරයා විපක්ෂ නායකයාට අවශ්‍ය වූයේ පොඩි විහිළුවක් කර සභාවෙන් එළියට ගොස් ආපසු ඒම බව ද කීය. මෙහි දී අදහස් දැක් වූ කථානායක චමල් රාජපක්ෂ මහතා අය – වැය කාරක සභා විවාදයට අවසර දුන්නේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා