අන්තරේ කැඳවුම්කරුට ඇප ලබාදීමට නීතිපති විරෝධය

අන්තරේ කැඳවුම්කරුට ඇප ලබාදීමට නීතිපති විරෝධය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන උඳුල් ප්‍රේමරත්න ඇප මත මුදා හැරියහොත් විශ්වවිද්‍යාල සිසුන් නැවතත් අපරාධ ක්‍රියාවන් සඳහා යොමු කිරීමට කටයුතු කළ හැකි බැවින් ඔහු ඇප මත මුදා හැරීම පිළිබඳ විරෝධය දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු විරෝධතා වාර්තාව සඳහන් කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හමුවේ මෙම ඇප අයදුම්පත කැඳවුණු අවස්ථාවේදී රජයේ අධිනීතිඥ යොහාන් ලියනගේ මහතා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙළේය.

පසුගිය ඔක්තෝබර් 14 දා පේරාදෙණිය සහ රජරට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් කලහකාරී ලෙස හැසිරෙමින් අමාත්‍යාංශ භූමියට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදුකිරීම සහ වාහනවලට පහර දී රුපියල් 15,283ක අලාභයක් සිදුකිරීමේ සැක පිට සිසුන් 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර උඳුල් ප්‍රේමරත්න පොලිසිය මග අරිමින් සිටියදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තාව සඳහන් කරයි.

ඔක්තෝබර් 29 දා අත්අඩංගුවට පත් වුණු සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවත් වාර්තාව සඳහන් කරයි. සැකකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට අමතරව මිරිහාන, නවගමුව, මහරගම යන පොලිස් ස්ථාන මගින් සැකකරුට එරෙහිව නඩු පවතින බව දැන ගැනීමට ඇති බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඇප ඉල්ලීම පිළිබඳ විභාගය 2011 ජනවාරි 24 දාට කල් තැබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා