ලෝක ඒඩ්ස් දිනය අද

ලෝක ඒඩ්ස් දිනය අද

ලෝක ඒඩ්ස් දිනය අදට (01 දා) යෙදී ඇත. මේ සඳහා වූ ජාතික වැඩසටහන කොළඹ පදනම් ආයතනයේ දී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 දා) සවස 3.30 ට පැවැත්වේ. මෙරට ඒඩ්ස් තත්ත්වය ගත් විට අග්නිදිග ආසියානු කලාපයේ HIV/AIDS ව්‍යාප්තිය අවම රටක් වශයෙන් සැලකෙයි.

විශේෂයෙන් ම මෙරට පවත්නා බෞද්ධාගමික හා සංස්කෘතිමය ශක්තිමත්භාවය මෙවැනි ලිංගාශ්‍රිත රෝගයක් පාලනය කිරීම කෙරෙහිදැඩි බලපෑමක් එල්ල කර තිබේ. මේ රෝගය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ කෙරෙන දැනුවත් කිරීම් මෙන් ම මෙරට ඉහළ සාක්ෂරතාව ද මේ සඳහා විශාල පිටුබලයක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු HIV/AIDS රෝගියා වාර්තා වූයේ 1987 දීය. එතැන් පටන් මේ දක්වා 1285 දෙනෙක් HIV ආසාදිත තත්ත්වයට පත් වී තිබෙන අතර AIDS තත්ත්වයට පත් වූ රෝගීන් ප්‍රමාණය 332 කි. HIV ආසාදිත වූවන්ගෙන් 46ක් මව්වරුන් මඟින් වෛරසය ආසාදිත වූ දරුවන් වන අතර ඉන් 518ක් කාන්තාවෝ වෙති.

HIV ආසාදිත පුරුෂයින් සංඛ්‍යාව 767 කි. HIV ආසාදිත දරුවන් 46 දෙනාට එම වෛරසය ඇතුළු වී ඇත්තේ තම මවුවරුන්ගෙන් වන අතර එම මවුවරුන්ගෙන් සියයට 90කට ම එම වෛරසය ඇතුළු වී තිබෙන්නේ තම ස්වාමිපුරුෂයන්ගෙනි. ඒඩ්ස් තත්ත්වයට පත් වූ පුද්ගලයන් 332ක් අතරින් 104 දෙනෙක් කාන්තාවන් වන අතර 228ක් පුරුෂයින් වේ. දැනට අප රටේ HIV ආසාදිත අවුරුදු 15ට වඩා වැඩි පුද්ගලයන් 3000ක් හා අවුරුදු 15ට අඩු දරුවන් 35ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් රෝගය පාලනය කිරීම සඳහා රජය වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විශේෂයෙන් මේ පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් මට්ටමින් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලෝක ඒඩ්ස් තත්ත්වය ගත් විට මේ වන විට මිලියන 33.4 ක් HIV/AIDS ආසාදිතව ජීවත්වන අතර මිලියන 2.7ක් ලෝව පුරා අලුතින් ආසාදිත තත්ත්වයට පත්වේ. එමෙන් ම සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස්වලින් මියයති. මින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා කලාපයට අයත් රටවල්වලිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා