යාපනයේ ජනතාව වෙනුවෙන් අමෙරිකානු මධ්‍යස්ථානයක්

යාපනයේ ජනතාව වෙනුවෙන් අමෙරිකානු මධ්‍යස්ථානයක්

උතුරු පළාත් ජනතාවගේ අධ්‍යාපන, ඉංගී‍්‍රසි භාෂා දැනුම හා තොරතුරු තාක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් අමෙරිකානු මධ්‍යස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි පැට්‍රිෂියා බුටේනිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළ අතර එය ශ්‍රී ලංකාවේ විවෘත කළ තෙවැනි අමෙරිකානු මධ්‍යස්ථානය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

එක් එක් ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා මීට පෙර මහනුවර හා ඔලුවිල් ප්‍රදේශවල ද අමෙරිකානු මධ්‍යස්ථාන විවෘත කිරීමට එරට පියවර ගන්නා ලද අතර එමඟින් උතුරේ සෑම ප්‍රදේශයකටම සෙත සැලසේ. පොත් පත්, සඟරා, පුවත්පත් ආදිය මේ හරහා පරිහරණය කිරීමට හැකි වන බවත්, ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ මෙන්ම සමස්ත ලෝකය සමඟම සම්බන්ධ වීමට ඉඩ ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි පැට්‍රිෂියා බුටේනිස් මහත්මිය පවසයි.

ඩිජිටල් වීඩියෝ සම්මන්ත්‍රණ මාර්ගයෙන් අමෙරිකානු විද්වතුන් හා ව්‍යාපාරිකයන් සමඟ ඍජු සබඳතා පැවැත්වීමට නව මධ්‍යස්ථානය හරහා උතුරේ වැසියන්ට අවස්ථාව ලැබෙන අතර සෙසු අමෙරිකානු මධ්‍යස්ථාන සමඟ ද විශ්වවිද්‍යාල සමඟ ද සබඳතා ගොඩ නඟා ගැනීමට හැකියාව ඇති බවද ඒ මහත්මිය අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා