අමෙරිකාවට හොරෙන් රිංගන්න හැදූ ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට

අමෙරිකාවට හොරෙන් රිංගන්න හැදූ ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට

තවත් විදේශිකයන් 219ක් දැලේ

නීති විරෝධී ලෙස මෙක්සිකෝව හරහා අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඇතුළු පුද්ගලයන් 219 දෙනෙකු මෙක්සිකෝ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ට්‍රක් රථයක ආධාරයෙන් ගමන් ගත් මේ පිරිස මෙක්සිකෝවේ චෙයා ප්‍රාන්තයේ දී අත්අඩංගුවට පත්ව තිබෙන අතර ටෙක්ස්ට්ලා ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළ අසලින් නොනවත්වාම ගමන් කිරීම හේතුවෙන් ඒ පසුපස හඹා ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස පොලීසිය වෙත සඳහන් කර ඇත්තේ තමන් බලහත්කාරයෙන් රැගෙන යන බවත්, නිදහස් කර ගැනීමට සහාය දෙන ලෙසත් ය. මේ අතර අදාළ ට්‍රක් රථයේ රියැදුරා සහ රිය සහායකයා පොලිස් නිලධාරීන් වෙත අල්ලස් ලබා දීමට උත්සාහ කළ බවද තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙහිදී නීති විරෝධී ලෙස අමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ කළ අය අතර ගෝතමාලා ජාතිකයන් 169 ක් ද එල්සැල්වදෝර් ජාතිකයන් 22ක් ද අයත්වන අතර හොන්ඩියුරාස් ජාතිකයන් 18 දෙනකුද වන බව සඳහන් වේ. ඊට අමතරව නේපාල ජාතිකයන් සිවු දෙනකුද වෙති. ට්‍රක් රථයක නැඟී අමෙරිකාවට යාම සඳහා ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් 7319.6 ක් අය කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවද තානාපති වාර්තා පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා